උතුරේ පදිංචිකරුවන් විශාල වශයෙන් විවිධ රැකියා සොයමින් යුරෝපීය රටවලට සංක්‍රමණය වූයේ තිස් වසරක යුද්ධයත් සමඟය.
මෙසේ ගියඅය තවත් ඔවුන්ගේ ඥාතීන් එම රටවලට කැඳවා ගැනීමට කළ උත්සාහයන් නිසා කෙමෙන් උතුරෙන් යුරෝපා රටවලට ගිය පිරිස ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන ලදි.
මේ රටවලට යාමට නොහැකි වූ උතුරේ දෙමළ ජනතාව ලක්ෂ ගණනක් ඉන්දියාවට පලා ගොස් තවමත් එහි ජීවත් වෙති.
මේ යන පිරිස විවිධ ආපදා අකරතැබ්බයන්වලට වරින්වර මුහුණ පෑ අවස්ථා කොතෙකුත් අපට අසන්නට ලැබුණි.
අලුතින්ම ඇසෙන මේ කතාව කැනඩාවෙනි.
යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ 44 හැවිරිදි පුද්ගලයකු කැනඩාවේ රැකියාවකට ගොස් සිටියදී ඔහුට වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 21 වැනිදා රාත්‍රියේදීය.
පංචලිංගම් පාර්තීපන් නමැති මේ පුද්ගලයා කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාර්ඛාම් (Markham) ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහු පදිංචිව සිටින නිවෙස අසලදීමය.
ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය ගැන සැලවීමෙන් පසුව පොලිසිය පැමිණ වෙඩි වැදී තුවාල ලබා සිටි පාර්තීපන් රෝහල් ගත කිරීමට උත්සාහ කරන විට ඔහු මියගොස් සිට ඇත.
කැනඩාවේදී මියගිය පාර්තීපන්ගේ යාපනයේ සිටින ඥාතීන් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ ඔහු මිය යාමට දින කිහිපයකට පෙර උතුරු පළාතෙන්ම කැනඩාවට ගොස් සිටින තරුණයන් පිරිසක් සමඟ ඔහු යම් ආරවුලක් ඇති කරගෙන තිබූ බවයි.
මේ ආරවුල මත ඔහු දැඩි කෝපයකින් සහ වෛරයකින් සිටි බව ද ඥාතීන් පවසා ඇත.
මේ සිදුවීම සිදු වී දින කිහිපයකින් ඔහුට වෙඩි තැබීමත්, ඇති වූ ආරවුලත් අතර යම් සබඳතාවක් ඇතැයි යන සැකය යාපනයේ ඥාතීන්ට ඇති වී තිබේ. මේ සැකයම මියගිය තැනැත්තාගේ කැනඩාවේ සිටින මාමා කෙනෙකුට ද ඇති වී තිබෙන නිසා ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.
මේ සියලු කාරණා පදනම් කරගෙන කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඒ අනුව පොලිසිය සිදු කරන විමර්ශනවලින් නුදුරේදීම පාර්තීපන්ගේ ඝාතනයට හේතුව අනාවරණය කරගැනීමට හැකි වෙතැයි ඔහුගේ ඥාතීහු පවසති.
එසේම කැනඩා පොලිසියේ විමර්ශන නිලධරයන්ගේ විමර්ශන ඔස්සේ පාර්තීපන්ගේ ඝාතනයට හේතුව සේම ඊට වගකිවයුත්තන් ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වෙතැයි සැවොම බලා සිටිති.
සිළුමිණ