උඩරට රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ උඩරට නිලමෙලා විසින් ඉංග්‍රීසීන්ට පාවාදීමෙන් වසර 2,500ක් අඛණ්ඩව පැවැති සිංහල රාජධානිය අවසන් විය.
මෙම ඓතිහාසික සිදුවීමේ අතිශය සංවේදී අවස්ථාවක් සිහිගන්වන කෞතුක වස්තුවක් කොළඹ ජාතික කෞතුකාගාරයෙහි තිබේ. ජාතික කෞතුකාගාරයෙහි විශිෂ්ටතම අංශය ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ මැදිරියේ දී නරඹන්නන්ට එය දැකගත හැකිය.
ඒ සුවිශේෂි කෞතුක භාණ්ඩ වන්නේ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය සහ ඇදුම් ආයිත්තම් ඇතුළු සිහිවටන කිහිපයකි. ඒ අතර තිබෙන අතිශය සංවේදී සිහිවටනයක් වන්නේ. වෙන්කතරංගම්මාල් රජ බිසවගේ රුධිරය තැවරුණු හැට්ටයකි.
රජු ඇතුළු රාජකීය පවුලේ බිසෝවරුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ 1815 පෙබරවාරි 18 වැනිදා මැද මහනුවර බෝමුරේදීය.
ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්ඩ්‍රික් පෙරටු කරගත් ඉංග්‍රීසි හමුදා කන්ද උඩරටට ළඟාවන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ආරක්ෂකයන් සහ බිසෝවරුන්ද කැටුව සෙංකඩගල නුවරින් පලා ගියේය..
රජු ඉංග්‍රීසීන්ට අල්ලා දී සිංහලය පාවාදීමේ කුමන්ත්‍රණයේ මහමොළකරුවා වූයේ සබරගමුව මහ දිසාවේ ඇහැලේපොළ නිලමේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ කන්දේ නුවරින් පලා ගියා නම් සැඟවී සිටිය හැකි ස්ථාන පිළිබඳව අවබෝධයක් තිබුණේ ඇහැලේපොළ නිලමේටය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම සඳහා බි්‍රතාන්‍ය හමුදාවට මඟපෙන්වන කණ්ඩායම නුවරට එවන ලද්දේ ඇහැලේපොළ නිලමේ විසිනි.
එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ කුරුවිට, එක්නැලිගොඩ නිලමේ විසිනි.
ඔහුගේ සහායකයා ඇහැලියගොඩ කරඳන කිරි පෝරුවේ මොහොට්ටාලය. ඔවුන් අනුමාන කළේ රජු මැදමහනුවරට පලා ගියා නම් නිසැක ලෙසම බෝමුරේ උඩුපිටිආරච්චිලගේ නිවසේ සැඟව සිටිය හැකි බවය.
වනය මැදින් වැටුණු කදුකර මාර්ගය ඔස්සේ දින දෙකක් ගමන් කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි සේනාංකය මැදමහනුවරට ළඟා වූහ. බෝමුරේ උඩුපිටිආරච්චිලගේ ගම් ප්‍රදේශය දැන සිටියත් එක්නැලිගොඩ නිලමේ නිවස පිහිටි ඉසව්ව සථිර ලෙසම දැන සිටියේ නැත.
හමුදා කණ්ඩායම කදුවලින් වට වූ වෙල්යායකට පිවිසි අතර එහිදී පිරිස දැක බියපත්ව දිව යන කොලු ගැටයකු දැක ලුහුබැඳ අල්ලා ගන්නා ලදී. මහ රජ්ජුරුවෝ ආරච්චිලගේ නිවසේ වැඩ සිටිනවා යැයි කොල්ලා කීවේය.
කොලු ගැටයා දුන් ඔත්තුව ඔස්සේ ආරච්චිලගේ නිවස වට කෙරිණි. නිවස වටා සිටි රජුගේ ආරක්ෂකයන් ඉංග්‍රීසින් විසින් යටත් කරගන්නා ලදී. නිවසේ ෙදාර වසා තිබිණි. ෙදාර බිඳින්නට සැරසෙන විට ආරච්චිල ෙදාරහැර එළියට පැමිණියේය. එසැණින් ගෙට රිංගාගත් එක්නැලිගොඩගේ පිරිස රජු අල්ලා ගන්නට සැරසෙත්ම “තොපේ රජ්ජුරුවන්ගේ ඇඟට අත නොතබව්” යනුවෙන් රජු උදහස්ව පැවැසීය. පිරිස පසු බාන විට එක්නැලිගොඩ නිලමේ සිය සහචරයන් දිරිගන්වා ඉදිරියට මෙහෙය වූයෙන් ඔවුහු රජතුමා තල්ලු කරගෙන පිටතට පැමිණියහ.
සාහසිකයන් කීපදෙනෙක් මිනිස් නාමයට නිගාදෙන පරිදි බිසොවුන් වෙත පැන කනකර කඩාගත්හ. ඉන් නොනැවතී රජුට අයත් ආයිත්තම්ද උදුරා ගත්හ. කිරිපෝරුවේ මොහොට්ටාල බිසොවුන්නාන්සේගේ කන්පෙතු ඉරා කර්ණාභරණ කඩා ගත්තෙන් ඕ තොමෝ ලේ වැකුණු සිරුරින් යුතුව ගේ තුළ ඒමේ අත දුව පනින්නට වූවාය. එවිට ගෙමිදුලේ සිටි සුදු ජාතික ඩයස් තෝල්කමුදලි “අවිය මාරුම්” යන ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කොට බැහැරට එනු මැනවැයි කීය.
ඒ තැනැත්තියන් ඇඳ සිටි වස්ත්‍රාදිය කලහකරුවන් ගලවාගෙන තිබූ හෙයින් යටට ඇඳ සිටි සුදු පිළියෙන් යුක්තව විළියෙන් හා වේදනාවෙන් මිරිකි මිරිකී එළියට පැමිණ තෝල්ක මුදලි අමතා අප රැකගනු මැනවැයි අෙදා්නා කීහ. තෝල්ක මුදලිද ඔවුන් සනසා ඉරීගිය කන් පෙතිවලින් ලේ ගලනු දැක ඉඹුල්වල ආරච්චි ලවා ඔෟෂධ කොළ ගෙන්වා තළා ඒවා කන් පෙතිවල ගල්වා ලේ නැවැත්වීය.
මේ අතර එක්නැළිගොඩ නිලමේ තම රජුට නොයෙක් කර්ණ කටුක වචනයෙන් බැන “මේකා බැඳගෙන යෑමට කිරිඳිවැල් ගෙනවැයි“ කීය. ඒ අසා බලවත් කම්පාවට පත් තෝල්ක මුදලි තැන නිලමේ අමතා “ආයුබෝවන්ඩ තමුන්නාන්සේ මේ පැය වනතුරුම මේ රජ්ජුරුවන්ට හාමුදුරුවෝ, දේවයන් වහන්ස, ස්වාමීන් වහන්සේ කියා වැඳවැටෙමින් බයාදු ගතියෙන් සිටියා. අප නම් මුන්වහන්සේට අවනත වීමක් නැතැ”යි කීය. එයින් උදහස් වූඑක්නැළිගොඩ නිලමේ “අප මෙතන කීම් ගන්ට ආවා නොවේ”ය කියා කිරිඳි වැල් ගෙන්වා රජුගේ දෙඅත් බඳින්නට සූදානම් විය. එවිට තෝල්ක මුදලි තැන තමා පොරවා සිටි සාටකය ගෙන මෙයින් බඳින්නැයි ඇයය. එහෙත් ඒ ඇයම නොසලකා කිරිඳිවැලෙන්ම බැන්දෝය.
මෙම සටහන උපුටා ගත්තේ රජු අල්ලා ගැනීමට ගිය හමුදා ඛණ්ඩයේ තෝල්ක මුදලි 1861 “සින්පාල්” සඟරාවට ලියූ ලිපියකිනි.
රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වීමෙන් පසු රෙදි පොට්ටනියක්ද රැගෙන කිරිපෝරුව ගමට පැමිණි මොහොට්ටාල එය සිය නිවෙසේ පෙට්ටගමක සඟවා තැබීය. රාජකීය ඇඳුම්වල අතීත කතාව එසේය. දැන් නැවැතත් අපේ අවධානය කෞතුකාගාරයට යොමු විය යුතුය. රාජකීය ඇඳුම් පිළිබඳ අතීත තොරතුරු විමසීමේ ඇහැලියගොඩ කරදන විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා ගැන හෝඩුවාවක් ලැබිණි.
එම හෝඩුවාව ඔස්සේ මම ඇහැලියගොඩට ගියෙමි. එහි අපූරු කතාවක් අසන්නට ලැබිණි. එය කීවේ ඓතිහාසික තොරතුරු ගැන පුළුල් දැනුමක් ඇති අවිස්සාවේල්ලේ බණ්ඩාරවත්තේ ධනපාල රෙජිස්ට්‍රාර් මහතා විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇඳුම් පැලැඳුම් ලැබුණු අන්දම පිළිබඳ ගවේෂණයක යෙදෙන බව ඔහුට දැන්වූ විට ඔහු මෙසේ කීවේය.
“අනේ මහත්තයො ඔන්න ඕක අත්හැරල දාන්න. ඔවුන්ගෙ ගෙවල්වලට යන්නවත් එපා. උඩරට රජ්ජුරුවො අල්ලලා සුද්දන්ට කුදලන් යන්න දුන්නෙ සබරගමුවෙ අෑයොනෙ. රජ්ජුරුවන්ට පයින් ගහලා තවමත් ඔවුන්ගෙ කකුල් කුණු වෙලා තියෙන්නෙ. මොනවට ඔවුන්ගෙ විස්තර පත්තරවලට ලියනවද? මම කියනවට බොරු නම් ටිකක් හොයල බලන්න. රජ්ජුරුවන්ට පයින් ගහපු පරම්පරාවෙ අෑයින්ගෙ කකුල් තවමත් කුණු වෙනව.”ධනපාල මහතාගේ කතාව සත්‍යයක් බව මෙම ගවේෂණයේ මම සොයාගතිමි. එහි විද්‍යාත්මක පදනම මෙසේය.
එක්නැළිගොඩ ඇතුළු පිරිස රජු අල්ලා දුන්නේ ඇහැලේපොළ රජු වූ පසු ඉහළ තනතුරු ලබාගන්නටය. අවසානයේ ඇහැලේපොළද සිරකරුවකු ලෙස නැවට පටවන්නට ඉංග්‍රීසීහු වගබලා ගත්තෝය. රජු අල්ලා දුන් පරම්පරාවල ඥාතීන් තුළ අද දක්වාම මේ සිදුවීම ගැන බියක්ද කම්පනයක්ද තිබේ.
රජුට පයින් ගැසූ පරම්පරාවේ පාද කුණු වන බවට ජනයා තුළ මුල්බැසගත් මතය මේ ඥාති ගණයාගේ හිත්වලද කිදාබැස ඇත. කකුලක සුළු සීරීමක් හෝ සිදුවුණහොත් ඒ තුවාලය අර ඉතිහාසගත දඬුවමට සම්බන්ධ එකකැයිද එය සුව නොවන්නේ යැයිද ඔවුහු නිගමනය කරති. තුවාලය සුව වීම පිළිබඳ රෝගියා තුළ විශ්වාසයක් නැති නිසාම කොපමණ බේත් කළද තුවාලය සුව නොවී දදයක් වැනි ස්වරූපයෙන් දිගු කලක් පැවතිය හැකි බව වතුපිටිවල රෝහලේ හිටපු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි බන්දුල සිරිවර්ධන මහතා මා සමඟ පැවැසීය.
ඇහැලියගොඩ කරඳන කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා හමුවීම මෙම ගවේෂණය ඉතා සතුටුදායක තැනකට ඔසවා තැබීමට හේතු විය. චන්ද්‍රසේන මහතාගේ පියා 1936μ කරදන විදුහලේ විදුහල්පති වශයෙන් පත්වී මෙම ගමට පැමිණ ඇත.
ඒ මහතාද ඉතිහාසයට ඇලුම් කරන්නෙකි. දිනක් පාසලේ පන්තියක කුඩා දරුවන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගී්‍රසීන් අල්ලාගත් අන්දම පැහැදිලි කර දුන්නේය. එහි නැඟී සිටි කුඩා දැරියක් මෙසේ පවසා තිබේ.
“මහත්තයා අපේ ගමේ ගෙදරක ඔය රජ්ජුරුවන්ගේ ඇඳුම් පොට්ටනියක් තියෙනවලු”
“කවුද කිව්වේ?”
“අපේ තාත්තා කිව්වේ”
“මොකක්ද ඔය ළමයගෙ ගම?”
“කිරිපෝරුව”
ගුණදාස මහතා දින කීපයක් ප්‍රදේශයේ ඇවිද කිරිපෝරුව ගමේ නියමිත නිවෙස සොයා ගත්තේය. එය ගරාවැටුණු වලව්වකි. සිටියේ එකම එක මිනිසෙක් පමණි. ඔහු නමින් දුනුමාල බණ්ඩාර විය. සෙස්සන් මිය පරලොව ගොසිනි. දුනුමාල කිරිපෝරුවේ මොහොට්ටාලගේ මී මුනුබුරෙකි.
අධික ලෙස බීමට ඇබ්බැහි වූ හෙතෙම දදයක් සහිත සිය පාදය කනප්පුව මත තබාගෙන ඇඳි පුටුවක ඇලවී සිටියේය. දින ගණනාවක් පෙරැත්ත කිරීමෙන් පසු සුළු මුදලක් ගෙන තම පරම්පරාවට අයත් රෙදි පොට්ටනිය ගුණදාස මහතාට දෙන්නට ඔහු කැමැති විය. ඒ වන විට එම පොට්ටනිය වසර 125ක් පෙට්ටගම තුළ ඒ අයුරින්ම තිබී ඇත. 1941 මෙම ගනුදෙනුව සිදුවිය.
ගුණදාස මහතා ගෙදරට ගෙන ගොස් ලෙහා බැලූ විට එහි රජ බිසවගේ හැට්ටයද, රජුගේ උඩුකය ඇඳුමද, බඳ පටියද, තවත් රෙදිකඩක්ද විය.
නිසැක ලෙසම ඒවා රාජකීය ඇඳුම් බව ඒත්තු ගියේය. හැට්ටයේ රුධිර පැල්ලම්ද සලකුණු තිබිණි. ඔහු මේ පුවත රහසක් වශයෙන් තබාගත්තේය. එහෙත් රහස හිතට බර වැඩි බැවින් මේ පුවත නාපාවල සෝරත හාමුදුරුවන්ට දන්වා සිටියේය.
ඒ ඔස්සේ මෙම ආරංචිය එවකට ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂ පී.ඒ.පී. දැරණියගල මහතාට දැනගන්නට ලැබිණි.
චන්ද්‍රසේන මහතා පවසන්නේ 1941 ජනවාරි මාසයේ දිනක උදෑසන දැරණියගල මහතා ස්වාමීන් වහන්සේ දෙනමක් සමඟ තම නිවෙසට පැමිණි බවය. ආලින්දයේ තැබූ ඇඳි පුටුවක ඇන්ද මත තබා පියා රජ ඇඳුම් අමුත්තන්ට පෙන්වනු එවකට කොලු ගැටයකු වූ තමාට හොඳින් මතක බව ඔහු පැවැසීය.
1941 පෙබරවාරි 2 වැනි දින කරඳන ටී. ගුණදාස මහතා විසින් රාජකීය ඇඳුම් ජාතික කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලද බව කියවේ.
මෑතක් වන විට බොහෝ සේ දිරාපත්ව තිබූ මෙම ඇඳුම් 2007 වසරේμ ලෝක ප්‍රසිද්ධ සංරක්‍ෂණ විද්‍යාඥයකු වූ ඉන්දියාවේ සී.ජී. අග්‍රවාල් විසින් සංරක්‍ෂණය කරන ලදුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.
සිහසුනෙන් පහකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ පවුලේ අය නෝර්ත් වොලිස් නම් යුද නෞකාවෙන් ඉන්දියාවට ගෙන ගියේය. වසර 14ක් වෙල්ලෝරයේ රැදවුම් කඳවුරක සිටි එතුමා 1832 ජනවාරි මස 30 වැනි දින ගිලන්ව අභාවප්‍රාප්ත විය. (ඒ වන විට රජතුමාගේ වයස අවුරුදු 52කි). රජ පවුලේ ඥාතීන්ද, සේවකයන්ද එක්ව ආදාහන කටයුතු සිදුකළ අතර කඳවුරේ මුර භටයන් විසින් අවසාන ගෞරව දක්වා ඇත.
අපේ අවසන් රජුගේ ස්මාරකය තමිල්නාඩුවේ වෙල්ලෝර්හි පාරේ නදිය අසබඩ බිමක කිසිවකුගේ අවධානයට ලක් නොවී පවතින අයුරු එහි යන අයට දැකගත හැකිය.
උදේනි සමන් කුමාර - මව්බිම