බදුල්ල - මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී ඊයේ (01) පෙරවරුවේ බස්රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස අනතුරට ලක්වූයේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක්.
අනතුරින් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔවුන් අතර බස් රථයේ රියැදුරු ද සිටිනවා.
එලෙස ජීවිතක්ෂයට පත්වුණේ, ඉසුරි උමයංගනී නමැති නිවිතිගල, කොළඹගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවියක් සහ තරංගා හෙට්ටිමුල්ල නමැති කුරුණෑගල, අඹකොටේ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවියක්.
සිය දියණියගේ වියෝව සම්බන්ධයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණි ඉසුරි උමයංගනී සිසුවියගේ මව මෙසේ සඳහන් කර තිබෙනවා.
''මේ මගේ ලොකු දුව, උදෙත් කතා කරලා කිව්වා අපි දැන් හෙට රත්නපුරය හරහා යන්නේ කියලා. අද තාත්තගෙ උපන්දිනය, එයාගේ යාළුවට කතා කරලා කියලා තියෙනවා කේක් එකක් හදලා තාත්තාව පුදුම කරන්න ගෙදරට ගිහින් දෙන්න කියලා.
මගේ උපන්දිනය දවසෙත් එයා මේ කට්ටිය එක්කම නුවරඑළියේ ට්‍රිප් එකක් ගිහින් ඇවිත් කිව්වා ''අම්මේ අනූ නමයෙන් අපි බේරුණේ'' කියලා.
නිව්ස් බලන්න බස් එකක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා කිව්වා කට්ටිය. දුවගේ ෆෝන් එකට කෝල් ගත්තා වෙන කවුද කතා කරලා කිව්වා එයා මෙතන නෑ මගේ අතේ ෆෝන් එක තියෙන්නේ කියලා.''
මේ අතර, අනතුරින් තුවාල ලැබූවන්ට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ඔවුන් ගුවනින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ගුවන් හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, තුවාල ලබා සිටි සිසුන් දෙදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේ සිට ගුවනින් වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබුණා.
කෙසේ නමුත් ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම කටයුත්ත ඊයේ දින සිදු කර නොමැත.
අනතුරට අදාළව බදුල්ල පොලිසිය සිදුකරන මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බස් රථයේ තිරිංග පද්ධතියේ මතුවූ දෝෂයක් හේතුවෙන් රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවෙන්නට ඇති බවයි.
හිරු ප්රවෘත්ති කළ විමසීමකදි බදුල්ල පොලිසිය සඳහන් කළේ බස් රථය ප්‍රපාතයකට පෙරළී යාම වළක්වා ගැනීමට රියැදුරු උත්සාහයක් දරන්නට ඇති බවයි.
ඒ අනුව, බොහෝ දුරට බස් රථය පස් කණ්ඩියේ ගැටී නතර වී ඇති බවද පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
VIDEO