යාපනයේ කාර්කෝවලම් ප්රදේශයේදී අඹුසැමි යුවළක් ගල් ගසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාගෙන් පොලිසියට ලද තොරතුරුවලට අනුව තවත් පුද්ගලයෙකු මෙම ඝාතනයන් දෙකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.
මරණ දෙකම සිදු කළ ප්රධාන සැකකරු දැනට අත්අඩංගුවට පත්ව සිටින දෙදෙනා අතර සිටින බවද පේදුරුතුඩුව පොලිසිය විසින් හෙළිකරගෙන තිබේ.
මරා දමන ලද අඹුසැමි යුවළ පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබා ගෙන වසර ගණනාවක සිට එම කටයුත්ත කරගෙන යන අතර ඝාතකයා විසින් එම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩරය ඉවත් වෙන නිසා ලබන වසරේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ඔහු වෙත ලබාගැනීමේ යටි අරමුණෙන් මේ දෙදෙනා ඝාතනය කළ බවට ප්රධාන සැකකරු පොලිසියට පාපොච්චාරණය කොට ඇත.
ඔහුට හිතවත් අනෙක් දෙදෙනා එම ඝාතනයන් දෙක සිදු කිරීම පිණිස අත්උදව් ලබා දී තිබේ.
මෙම ප්රධාන ඝාතකයාට එරෙහිව මීට පෙර මිනීමැරුම් චෝදනාවක් හා මවට පහර දී මරා දැමීමට සූදානම් වූ බවට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ නඩු දෙකක් ද ඇති අයෙකි.
යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ කාර්කෝවලම් පුනිතනගර් ප්රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි මානික්කම් සුබ්රමනියම් නමැති අය හා ඔහුගේ බිරිය වන 51 හැවිරිදි මේරි රීටා නැමති දෙදෙනාව ඝාතනය කොට තිබුණේ ඔවුන් දෙදෙනා නිෙවසේ නිදා සිටියදී විශාල ප්රමාණයේ කොන්ක්රීට් ගල් කීපයකින් ඔවුන් දෙදෙනාගේ ඔලුවලට පහර දීමෙනි.
රෝහලේ රෙදි සේදීමට අදාළ පුද්ගලයා නොපැමිණි අවස්ථාවේදී ඔහු වෙත ලබා දුන් දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදීම නිසා රෝහල් සේවකයෙකු රෙදි සෝදන්නාගේ නිෙවසට පැමිණ බලන විට අඹු සැමි යුවළ නිදි පැදුරේම මරා දමා සිටිනු දැක තිබේ.
ඔහුගේ ප්රකාශය රෝහලට ලැබුණු පසුව රෝහල් බලධාරීන් පේදුරුතුඩුව පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණි.
මරණ දෙක සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව මළසිරුරු දෙක අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත භාර දී ඇති අතර දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලිසිය පියවර ගෙන තිබේ.