නර්මදාගේ මගුල් පිංතූරේ එයා හිටියේ ලස්සන නෙළුම් මලක් වගේ හැඩට... හතර වරිගෙම නෑදායෝ එයා දිහා බලාගෙන හිටියා වශී වෙලා වගේ..
එයා නුවර හින්දා උඩරට විදියට ඇත්දළ පාට ඔසරියක් ඇදලා හිටියා.. ඒ ඔසරියේ පල්ලුවේ මුතු ඇට රටාවේ ලස්සන අවුරුදු දහයකට පස්සේ වුණත්, අමෙන්ද්‍රට තාම මතකයි..
මාල හතක් දාලා හිටිය එයාගේ සුදු පාට ලස්සන මුහුණේ හරි අහිංසක හිනාවක් හැම මොහොතකම ඇදිලා තිබ්බා.. එදා අමේන්ද්‍රගේ නෑ සනුහරේ කිව්වේ නර්මදා හරිම සිරියාවන්ත මනමාලියක් කියලා.. එහෙම කියපු නෑදෑයොම පහු පහු වෙද්දී නර්මදාට මොනතරම් දේවල් කිව්වද? මිනිස්සුන්ගේ ආදරේ කැමැත්ත කියන දේවල් සැලකුම් මොනතරම් වේගෙන් වෙනස් වෙන්න පුළුවන්ද ? සමහර මතක පපුව හූරගෙන යනවා වගේ අමේන්ද්‍රට දැනෙනවා..
ඒත් නර්මදාගෙයි, එයාගෙයි ලස්සන පුංචි පවුලේ සන්තෝසේ හොරු අරගෙන ගිය හැටි... අමේන්ද්‍ර ලොකු සුසුමක් පිට කළා... ඒ සතුට හොරුන්ට අරගෙන යන්න ඉඩ හැදුවේ අමේන්ද්‍රද ? මේ කතාව අන්තිම වෙනකම් කියවලා ඔයාලා තීරණය කරන්න.. මේ වගේ කතා.. මේ වගේ මිනිස්සු, මේ පුංචි ලෝකේ කොච්චර ඉන්නවා ඇත්ද..? අමේන්ද්‍ර ඇස්වලින් ආපු බොර පාට කඳුලක් හෙමින් ගලාගෙන ඇවිල්ලා එයාගේ අතේ තිබ්බ නර්මදාගේ මගුල් පිංතූරේ උඩට වැටුණා..
අමේන්ද්‍රයි නර්මදායි කසදා බැදලා කුරුණෑගල වැව රවුමේ ගෙදරක පදිංචියට ආවා.ඒ එය්ාලගේ ජිවීතේ ලස්සනම කාලේ...අමේන්ද්‍ර අදටත් ඒ කාලේ මතක් කරන්න ආසයි... ආයෙමත් ඒ කාලෙට යන්න , නර්මදාගේ සිනිදු ලස්සන දිග ඇගිලි තිබ්බ අත අල්ලගෙන වැව රවුමේ යන්න ,ඈතින් පේන ඇතුගල දිහා බලාගෙන ලස්සනට ඇස් නටව නටව නර්මදා ගිරා පැටියෙක් වගේ නුවර විස්තරයි එයාගේ කැම්පස් කාලේ විස්තරයි කියපු හැටි මතක් වෙනවා.. ඒ එයාගේ නර්මී සැහැල්ලුවෙන් හිටිය කාලේ... මේ කාලේ අමේන්ද්‍රගේ අම්මා හිටියේ නෑ... මහගෙදර වුණත්, අමේන්ද්‍රගේ අම්මා හිටියේ අක්කා එක්ක.. අක්කාට දරුවෝ තුන් දෙනෙක් හිටියා.. එයාලගෙන් දෙන්නෙක් නිවුන්නු හින්දා අක්කාට රස්සාව එක්ක සේරම බැලන්ස් කරගන්න දරුවෝ බලා ගන්න අම්මාව ඕනා වුණා.. ඒ හින්දා අම්මා සති අන්තේ මහගෙදරට ඇවිත් යන එකයි කළේ..
අම්මා මුලින් මුලින් නර්මදාට හරි ආදරෙන් හිටියා.. තාම මොනවත් වෙනසක් නැද්ද නංගී කියලා අහලා අමේන්ද්‍රගේ අක්කා කොල් එකක් අතර නර්මිගෙන් අහලා තිබ්බා... එතකොට එයාලා බැදලා අවුරුදු දෙකයි.. ඊට පස්සේ අම්මා තමයි පළවෙනි දොස් මුරේ පටන් ගත්තේ.. සති අන්තේ ගෙදර ආවාම අක්කාගේ බබාලාගේ හුරතල් ගැන අම්මා නොනවත්වාම කියවන්න පටන් ගත්තා.. අන්තිමේට කතාව ඉවර වුණේ අමේන්ද්‍රගේ මුහුණ තියෙන මුණුබුරෙක්ව අතගාලා මැරුණට කමක් නෑ ඒක තමා එයාගේ එකම ආසාව කියලා...
''අපේ පරම්පරාව ගෙනියන්න මුණුබුරෙක් ඕනා පොඩි පුතේ. උඹලාගේ අප්පච්චිගේ නම තියන්න ඕනි. මේ දේපළ බලාගන්නේ කවුද කවදා හරි.. ඒ හින්දා ඉක්මනින් ළමයෙක්, දෙන්නෙක් හදපං , මං උබලාට ආයේ කියන්නේ නෑ " අම්මා එහෙම කිව්වාම නර්මී ගේ ඇස්වල කදුළු පිරුණා...
" අපිත් බබෙක් ගැන හිතනවා අම්මේ " නර්මී කිව්වේ හීන් හඩින්...
ඒ වෙලාවේ අමේන්ද්‍ර අම්මාට මොනවත් නොකීවේ අම්මා ගැන තිබ්බ ගෞරවය හින්දා.. ඒත් දැන් පලවෙනි මොහොතේම නර්මදාව ආරක්ශා කරගන්න බැරි වුණ එක ගැන එයාට හරිම දුකයි.. කසාදය ඇතුලේ තුවෙනි පාර්ශවයකට නඩු අහන්න තමන් ඉඩ දුන්නා කියන පසුතැවීමෙන් ඔහුට මිදෙන්න බෑ.... අම්මා වුණත්....
නරකද දොස්තර කෙනෙක් බැලුවොත් කියලා නර්මිගේ ගෙවල්වලින් කියලා තිබ්බා.. හැම සති අන්තයේම අම්මා ආවා.. එකම විදියට එකම තැටිය ගෙදර වාදනය වෙන්න පටන් ගත්තා.. අම්මා, අක්කාගේ ගෙදර ගියත් හැම නිතරම් කෝල් කළා... අක්කා කතා කරලා එයාට මේ මාසේ එහෙම වුණාද ? පරක්කුද ? වගේ ප්‍රශ්න අහන්න පටන් අරන් තිබ්බා.. හැම පැත්තෙන්ම නර්මිව තැලෙන්න ඇති.. ඒක තේරුම් යනකොට මොනතරම් ප්‍රමාදයි ද? ජිවිතේ ආපහු පස්සට ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක හරිම කටුක සත්‍යක්... ජිවිතේට ආපහු යන්න කෙටි පාරවල් නෑ...
නර්මදායි අමේන්ද්‍රයි දොස්තර්වරු හම්බෙන්න ගියා... දහස් ගණන් සල්ලි වියදම් කළා... නර්මී දොස්තර බේත් ගැල් ගණං බිව්වා.. බලාගෙන ඉන්නකොට නර්මිගේ ලස්සන දීප්තිමත් ඇස් මලානික වුණා.. එයාගේ අර හිනාව දකින එක අඩුවෙන්න ගත්තා.. නෑයෝ නොනෑයෝ මගතොටේ හම්බුණ මිනිස්සු තාම බබෙක් නැද්ද කියලා අහන්න් පටන් ගත්තා.. සමහර යාලුවෝ විහිළු කරා අපිට නම් ඔය වයසෙදි බබාලා දෙන්නෙක් හිටියා කියලා හිනා වුණා.. අහල පහල සේරටම තිබ්බ ලොකුම ප්‍රශ්නය වුණේ,
කෝ එයාලට බබෙක් ? ඇයි පරක්කු ? ඒ වගේ දේවල් තමයි..
නර්මී ගිරවියක් වගේ කියවන එක නතර කළා.. ඒ වෙනුවට අහන දේටත් අත්‍යාවශ්‍ය දේටත් විතරක් උත්තර් දෙන්නයි කතා කරන්නයි පටන් ගත්තා.. එයා සමහර වෙලාවට බලාගත්තු අත බලාගෙන හිටියා... එකම විදියට අවුරුදු හත අටක් ගෙවිලා ගියා.. ජිවිතේ දොස්තරලා ගාවටයි පන්සල් පල්ලි කෝවිල්වලටයි කැප වුණා... අන්තිම අවුරුදු දෙකේ නර්මී රොබෝ කෙනෙක් වගේ වුණා.. හරි පව්.. අම්මලාගෙන් එයාට ගැලවීමක් තිබ්බේ නෑ... ඒත් එයාලා දෙන්නා විතරක් තනියම ඉන්නකොට සුසුම් සුළඟට මුසු වුණා.. ආදරෙන් හිටියා සමහර රෑට නර්මදා අමේන්ද්‍රගේ පපුවට තුරුල් වෙලා ඇඩුවා.. " ඔයා මාව දික්කසාද කරලා වෙනකෙනෙක් බඳින්න මගේ සුදු අයියේ " එහෙම රෑක නර්මදා අමේන්ද්‍රගේ ඇස් දිහා බලාගෙන ඇහෙන නෑහෙන හඩින් කිව්වා....
"අපිට ළමයි ඕනා නෑ මගෙ මැණික , මට ආයේ ඔය කතාව කියන්න එපා "
අමේන්ද්‍ර ආදරෙන් නර්මිව බදාගෙන කිව්වා. එදා නර්මදා හිනා වුණා. චුට්ටක් ඉස්සිලා අමේන්ද්‍රගේ ඇස් දෙකයි නළලයි සිම්බා...
පහුවෙනිදා උදේ නර්මදා ඇදේ හිටියේ නෑ .
ඊට පස්සේ දේවල් අමේන්ද්‍රට මතක තියෙන්නේ හීනයක් වගේ...
නර්මී හිටියා . ඔව් එයා හිටියා එයාගේ මගුල් සාරියෙන් එල්ලිලා වැව රවුමේ මහගෙදර විසාල සාලේ මැද්දේ... ලස්සන දිග ඇගිලි දරදඩු වෙලා තිබ්බා. එයා යනකොට චූටි ලියුමක් ලියලා තිබ්බා...
අපි සංසාරේ ආයේ මුණ ගැහෙනවා රත්තරං.. ඒ ආත්මේදී අම්මා කෙනෙක් වෙන්න මං වෙනුවෙන් පිං කරන්න පණ..! මට සමාවෙන්න... එයා වෙවලපු අතකින් ලියලා තිබ්බා...