එයාට තිබ්බේ අහිංසක ඇස් දෙකක්...
ඉපදුන දවසේ ඉඳලාම අසරණකම කරපින්නාගත් ඇයට කවදාවත් මේ වගේ ඉරණමක් අත්වෙයි කියලා ඇගේ දෙමව්පියන්වත් හිතන්නට නැතුව ඇති...
ගෙදර ආර්ථිකය ඇයට වද දෙන කාරණක්.. කොහොම වුණත් උත්සාහවන්ත කෙල්ලෙක් වුණ ඇයට මේ රැවටීම නම් දරාගන්න බැරි දෙයක්..
ඇයට අපි කාව්‍යා කියමු.. කාව්‍යා ගොඩාක් ලස්සන ගැහැනු ළමයෙක්.. එයාට ජිවිතේ ගැන අනිත් ගැහැනු ළමයින්ට වගේම හුගාක් බලාපොරොත්තු තිබුණා.. දුප්පත්කමේ පතුලටම වැටිලා තිබුණ එයාගේ අහිංසක පවුල ගොඩ ගන්න ඇය හීන දැක්කා.. අම්මාට තාත්තට පුංචි ලස්සන ගෙදරක් හදලා දෙන්න ඇයට ඕනි වුණා.. නංගිලා දෙන්නෙක් ඉස්කෝලේ ගියේ අවාරෙට වගේ ගෙදර අයට සල්ලි තිබුණ දවස්වලට විතරයි.. නැති දවස්වලට අම්මා එක්ක තේ කට්ටීවල, වැඩ කරන්න එයාලා ගියා..
කාව්‍යාගේ තාත්තා රබර් කිරි කපන එක රැකියාව විදියට කරත් ඒ උපයන මුදල් පස්දෙනෙකු ජිවත් කරවන්න මදි වුණා.. කාව්‍යාට තව දුරටත් මහ පොළව එක්ක ඔට්ටු වෙන අම්මා තාත්තාගේ වෙහෙස දිහා බලාගෙන ඉන්න බැරි වුණා... ඇය පාසල් ගමන නතර කරලා අම්මාටයි තාත්තටයි ජිවත් වෙන්න උදව් කරන්න තිරණයක් අරගත්තේ ඔය අතරේ...
''අම්මේ මම ආපහු ඉස්කෝලේ යන්නේ නැහැ "
කාව්‍යා දවසක් හැන්දාවේ අම්මා ළඟට ඇවිත් කිව්වා.. ඒ වෙද්දී කාව්‍යා උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබමිනුයි හිටියේ...
" උඹට පිස්සුද ලොක්කියේ "
" මෙහෙම ගියොත් නංගිලා දෙන්නට ඉගෙන ගන්න වෙන්නෙත් නෑ අම්මේ, මම රස්සාවක් කරලා එයාලට උගන්වනවා "
ඈතින් පේන සිරිපාද කන්ද දිහා බලාගෙන කාව්‍යා කිව්වා.. කාව්‍යාට තිබ්බේ පුදුමතරම් අහිංසක ඇස් දෙකක්.. ඒ ඇස් අධිෂ්ටානයෙන් දිලිසුණා.. කොච්චර පෙරත්ත කලත් ඇගේ අදහස වෙනස් කරන්න බැරි වුණා... අම්මා චීත්ත පොටින් කදුළු පිහ දැම්මේ කාව්‍යා ගැන උපන් අප්‍රමාණ ආදරේකින්... ඇය ලොක්කිගේ හිස ආදරෙන් අත ගෑවා... ඒ මොහොතේ දුප්පත් අම්මාගේ හදවත හුගාක් අසරණ වෙන්න ඇති..
ඊට පස්සේ සතියේ කාව්‍යා ඇගලුම් කර්මාන්තශාලාවක් වැඩට ගියා.. ඒ නුපුහුණු මැශින් ඔපරේටර්වරියක් විදියට... ඇය මුල ඉදලා සේරම ඉගෙන ගන්න පටන් ගත්තා.. ඇදුමක් මහන හැටි කාටත් වඩා වේගයෙන් ඉගෙනත්තා.. කාව්‍යාට කවුරුත් කැමතියි ඇය ලස්සනයි වගේම දක්ශයි.. කාලය වේගයෙන් ඉගිලිලා ගියා.. මේ කාලේ වෙද්දී කාව්‍යා පළපුරුදු මැශින් ඔපරේටර්වරියක්.. ඇය ගන්න වැටුපෙන් පුළුවන් උපරිම ගෙදර වෙනුවෙන් වියදම් කරන්න ඇය දෙපාරක් හිතුවේ නෑ.. මේ කාලේ වෙද්දී නංගිලා දෙන්නා සතුටින් පාසල් ගියා..
එයාලා හොදින් ඉගෙන ගන්නවා දැකලා කාව්‍යා හුගාක් සතුටු වුණා..
කාලය ඔහොම ගලාගෙන යද්දී ඇගලුම් කර්මාන්තශාලාවට කොළඹ ප්‍රදාන අයතනයෙන් කළමනාකරුවෙක් පැමිණියා.. ඔහුට අපි තේමිය කියමු... ඔහු අකර්ශණීය පුද්ගලයෙක් නිසා ඇගලුම් කර්මාන්ත ශාලාවේ හැමෝගෙම අවදානය ඔහු වෙතට යොමු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.. ඒත් ඔහුගේ අවදානය නතර වුණේ පිච්ච මලක් වගේ ඉන්න කාව්‍යාට..
" කාව්‍යා ඔයාගේ ඇස් පුදුම තරම් ලස්සනයි ළමයෝ ..... " තේමිය දවසක් කවුරුවත් ළඟ නැති මොහොතක ඇයට කිව්වා... කාව්‍යාගේ පපුව හයියෙන් ගැහුනා.. තේමිය වැඩ කරන හුගාක් වෙලාවට ඇය දිහා බලා ගෙන ඉන්න බව ඇයට නොදනුනා නෙමේ.. ඇය ඒ ගැන නොහිතා ඉන්න උත්සහා කරා.. මේ අතරේ දවසක් කාව්‍යාට නිවාඩුවක් ඕන වෙලා තේමියගේ ඔෆිස් එකට ගියා නිවාඩුව අනුමත කරගන්න. ඒ වෙලාවේ තේමිය කාව්‍යාගේ අතින් අල්ලගෙන ආදරෙයි කිව්වා. එයා එක්ක කතා කරන්න ඕනී කියලා කිව්වා... මේ කෝඩුකාර ආදරේ කාව්‍යාගේ හිත අස්සට හිමීට රිංගුවා...
අලුත් ආදර කතාවක් පටන් ගත්තා.. ඒක කාටවත් රහසක් වුණේ නෑ.. මල් පිපුණු වසන්තයක් උදා වුණා.. කාව්‍යාගේ ලස්සනට තේමිය වහ වැටිලා හිටියේ.. පුදුම ආදරයක් තේමිය කාව්‍යාට පෙන්නුවා.. සති අන්තයේ දෙන්නා එහෙ මෙහේ ගමන් බිමන් ගියා.. මුලදි මුලදි ලස්සන තැන් බලන්න ගියත් පස්සේ පස්සේ කාව්‍යා එක්ක තනිවෙන්න තේමිය තෝරගත්තේ හෝටල් කාමරයක්.. කාව්‍යා ඒකට බය වුණා.. ඒත් තේමිය එයාගේ තනි කැමැත්තෙන් කාව්‍යාව එහෙම තැන්වලට එක්ක ගෙන ගියා..
"මට බයයි දෙවියනේ " මුව පැටියෙක් වගේ බයෙන් ඇය කිව්වා..
"බය වෙන්න එපා.. අපි බඳිනවානේ ළමයෝ.. " තේමිය ආදරෙන් කිව්වා.. ඒ කතාව එකහෙළා නොවුණත් කාව්‍යා විශ්වාස කරා..
හිටි හැටියේම තේමියගේ වෙනසක් පෙනුනා.. නිතරම කෝල්වල ඉන්නවා කාව්‍යා දැක්කා.. ඒ ගැන ඇහුවාම ආයතනයේ ගැටලු කීපයක් නිසා කාර්‍යබහුලයි කියලයි තේමිය ඇගවුවේ.. නත්තල් නිවාඩුවට තේමිය කොළඹ ගියා.. යන්න කලින් දෙන්නා ආයෙමත් හෝටලයකදි හමු වුණා.. කාව්‍යා ඇගේ හිතේ මෙච්චර දවසක් හංගගෙන හිටිය දෙයක් තේමියට කියන්න හිතුවා වුණත්, ඒක කියන එක නිවාඩුවෙන් පස්සේ කරනවා කියලා ඇය හිතුවා..
නිවාඩුවට කොළඹ ගිය තේමිය ආපහු එන්න ඕනී දවසේ ආවේ නෑ.. ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිතව තිබ්බේ.. කාව්‍යා හුගක් බය වුණා... ඇය තේමියට අප්‍රමාණව ආදරේ කරා.. සතී කීපයක් ගියත් ඔහු ආවේ නෑ.. ඒ වෙනුවට අලුත් කළමණාකරුවෙක් සේවයට ආවා.. හැමෝම කාව්‍යාගෙන් තේමිය ගැන අහන්න පටන් ගත්තා වුණත්, ඇය ළඟ ඒ ප්‍රශ්නවලට උත්තරයක් තිබ්බේ නෑ.. කාව්‍යා වැඩට යන්නේ නැතිව දින කීපයක් ගෙදර හිටියා.. තාත්තා කාව්‍යාට කිව්වා" කොළඹ යමු "කියලා..
ඒත් ජිවිතේට කොළඹ ගිහිල්ලා නැති අහිංසක තාත්තා , තේමියව කොහොම හොයන්න ද ? කියලා කාව්‍යා කල්පනා කරා.. සතියෙන් සතිය ගෙවුනා කාව්‍යා හිටියේ අඬමින් භාගෙට මරුණු මනුස්සයෙක් වගේ..
ඔය අතරේ කාව්‍යාගේ හොදම යාලුවා එයාව බලන්න හදිස්සියේ ආවා..
ඇඩූ කඳුලින් ඉන්න කාව්‍යාවගේ අත අල්ලගෙන , එයා පිංතූරයක් අගේ අතේ තිබ්බා...ඒක මගුල් ගෙදරවල්වල දෙන තැන්කියු කාඩ් එකක්. විශ්වාස කරන්න පුලුවන්ද ඒකේ හිටියෙ තේමිය.
"මෝඩියේ තේමිය සර් බැදපු මිනිහෙක් " යාලුවා කිව්වා.. කාව්‍යාගේ කදුළු නතර වුණා... ඈතින් සිරිපාදේ කන්ද පෙනුනා බොඳ වෙලා වගේ... මහ වැස්සක් කඩාගෙන වැටුනා.. ටික වෙලාවක් ඉදලා යාලුවා ගියා.. රාත්‍රිය උදා වුණා... කාව්‍යා ඇඩුවේ නෑ.. අම්මා තාත්තාගේ දුක්බර අහිංසක මූණු , ඉස්කෝලේ යන නංගිලා දෙන්නා , එයා හදන්න හීන දකපු පුංචි ගෙදර, තේමිය කියපු ආදර කතා එකින් එක කාව්‍යාට මතක් වුණා... හරියට නිකං චිත්‍රපටියක් වගේ..
පහුවෙදා පාන්දර වෙනකොට කාව්‍යා ගෙදර හිටියේ නෑ.. ගෙදර අහිංසක අම්මා තාත්ත හුගාක් කළබල වුණා.. මුළු ගමම කාව්‍යාව හොයන්න පටන් ගත්තා.. දවස් දෙකකට පස්සේ කාව්‍යාගේ නිසළ සිරුර කළු ගගේ ඉවුරක උණ පඳුරක රැදිලා තිබිලා හමුවුණා.. මරණ පරික්ශනයේදි හෙළි වුණා කාව්‍යා මාස දෙකක ගැබිණියක් කියලා.. අහිංසක ලස්සන රෝස මල තවත් නූපන් මල් කැකුලක් කුසේ තියාගෙන අවසන් ගමන් ගිහිල්ලා තිබ්බා..