සුභාෂනී තිදරු මවකි. ඇගේ සැමියා සනී මොනතරම් බීමට ඇබ්බැහිවී සිටින්නේද යත් හම්බ කරන සේසතම පූජා කළේ බාර් එකටය.
‘‘මගෙ කරුමෙටම තමයි තමුසෙ ලැබුණේ. ළමයි නැත්නම් මම දන්නවා කරන්න ඕනදේ…’’ සුභා සුපුරුදු ආඩපාලිය පටන්ගත්තේ පාන්දර පහටය.
‘‘මම අර තේක්ක ගහ වික්කා. ගෙදර උයන්න හාල් ඇටයක් නෑ…’’ වලිය මැද ඇය එසේ කියා දැමුවේ විරෝධතා වළකාලීමේ උපක්‍රමයක් භාවිතා කරමිනි. බිරිඳගේ කතාව ඇසුනා නෑසුනා සේ සනී වැඩි කතා බහකින් තොරවම වැඩට ගියේය.
තේක්ක ගහ විකිණීමෙන් සුභාට රුපියල් විසිපන්දහසක් ලැබිණි.
සුනිල්ගේ කඬේට ණයව තිබූ රුපියල් 10,000 පියවූ පසු ඇය අත ඉතිරි වුණේ රුපියල් 15,000 කි.
තිසරපට අස්සේ මුදල් ටික ගසා ගත් ඇය නිවසට ආවා පමණි පන්දාහෙ කොළ තුනෙන් එකක් අතුරුදන්ව ගොසිනි.
‘‘සුනිල් අයියේ මගේ පන්දාහක් කඬේ වැටිලා…’’ ආපසු කඬේට ගිය ඇය පන්දාහ සොයමින් කඬේ පීරුවේ සුනිල් මුදලාලිගේ සහයත් ඇතුවය.
‘‘ගහ විකුණලා ගත්ත සල්ලි තෝ තමයි ගත්තෙ…’’ ඇය ඉකිගසමින් සුනිල් මුදලාලිට බැනවදින්නට ගත්තාය.
‘‘මම යටියන ගිහින් පේනයක් බලනවා. ඒකෙන් ඔක්කම බලාගන්න පුළුවන්…’’ ඇය කෙළින්ම ගියේ පේන බලන පෙමියානු සොයාගෙනය.
කපටි පෙමියානු සුභාගේ කටින්ම හොරා කවුදැයි දැනගෙන පේනය කියා රුපියල් දහදාහක ගාස්තුව සාක්කුවේ දාගත්තේ යටි හිතින් හිනාවෙමිනි.
නිවසට ආ සුභා කරවල කෑල්ල ඔතා තිබූ පත්තර කෑල්ල අරිනවාත් සමගම ඒ සමග දුටු පන්දාහේ නෝට්ටුවෙන් ඇගේ දෑස් නිලංකාර විය.
‘‘අනේ දෙයියනේ මගෙ දහදාහ…’’ ඇයට ඉබේම කියැවිණි.