වසර දෙකකටත් පෙර මියගිය තම සැමියා ඉකුත් සතියේ මැදියම් රැයක තනියම පොලිස් මාර්ග බාධකයකින් වාහනයක් පදවාගෙන යාම සම්බන්ධව පොලිසියෙන් පසු විපරමක් කළ අරුම පුදුම කතාවක් පිළිබඳව පුවතක් වයඹ පළාතෙන් අසන්නට ලැබෙනවා.
සිද්ධිය පිළිබඳව මියගිය සැමියාගේ විවාහක බිරිය පැවසුවේ මෙවැන්නකි. මට උදේම කෝල් එකක් ආවා. පොලිසියෙන් කියලා කිව්වා. " හෙලෝ මේ කවුද? ෆෝන් එකේ අයිතිකාරයා ඔයාද" ඔහු විමසුවේය.
" නෑ මේක මගේ මහත්තයාගේ." මම උත්තර දුන්නා.
" කරුණාකර ෆෝන් එක එයාට දෙනවාද. " ඔහු ඉල්ලීමක් කළේය.
ඇයි මොකක්ද ප්රශ්න. " මම නැවත ඇසුවා.
" නෑ බය වෙන්න එපා. ඔයාගේ මහත්තයා පසු ගිය දාක මැදියම් රෑ අපේ පොලිස් මාර්ග බාධකයෙන් ගමනක් ගියා. එතැනින් යන එන සියලු වාහන වල විස්තර ලියා ගන්නවා. ඒ ආ ගිය අයගෙන් අහඹු ලෙස තෝරා ගත් මේ ජංගම දුරකතනයෙන් පසු විපරමක් කරන්නයි මං ගත්තේ. " ඔහු කීවා.
මට තරු පෙනුණා. එහෙත් ඒ ගැන කිසිවක් නොකියා මොනවාද කියන්නේ කියලා අහන්න මම තව ටිකක් විස්තර ඇහුවා. එවිට මගේ මහත්තයාගේ නම වාසගමත් එක්ක පොතේ ලියා තිබෙන විස්තරයක් කිවා. නමත්, ලිපිනයත් හරි. රියැදුරු බලපත් අංකයත් වාහනයේ අංකයත් කිව්වා ඒ ඔක්කෝමත් නිවැරදි බවට මම පිළි ගත්තා.
" එහෙනම් කරුණාකර එයාට ෆෝන් එක දෙන්න " එයා මට ආයේත් කිවා.
එවිට මම ආයේ කිව්වා. "මහත්තයෝ කියපු ඔක්කෝම හරි. ඒ වුණාට, මගේ සැමියා ඔතැනින් ඔය කියන දා ගියේ නෑ. ඒක සියයට සීයක් ෂුවර්. මොකද මම එහෙම කියන්නේ. එයා මැරිලා. මැරිලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි. එහෙම කෙනෙක් කොහොමද ජීවමානව එතැනින් ගියේ. ඒ ඔක්කෝම බොරු. එයාගේ ජංගම දුරකතනය පාවිච්චි කරන්නේ මම. ඒක විතරයි ඇත්ත. මීට අවුරුදු දෙකකට පමණ මැරිච්ච මහත්තයාට ෆෝන් එක දෙන්න කියලා ඔයා කිව්වාට මම කොහොමද එයාට ෆෝන් එක දෙන්නේ. ලියපු අයට වැරදිලා වාගේ කියලා මම දුරකතන සංවාදය විසන්ධි කළා.''