ආදරය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට එක එක විදිහට බලපාන දෙයක්.. මේ කියන්න යන්නෙත් ඔහුගේ ජීවිතයට ඔහු නොහිතන වෙලාවක පැමිණි ආදරයක් ගැන කතාවක්..
එක් අවස්ථාවකදී ඔහුට සියල්ල අහිමිවුණා කියලා තේරුණත් තවත් නිමේෂයකදී වෙනස් වෙන්න පුළුවන් කියන එකට මේ කතාව හොඳ නිදසුනක්..
මේ කතාව කෙනෙකුට ගොඩක් සවේදී වෙන්නත් පුලුවන්.. තව කෙනෙකුට හිනා යන එකක් වෙන්නත් පුලුවන්.. ඒත් මම මේක ලීවේ හැම මනුස්සයෙකුටම ලස්සන හදවතක් තියනවා කියන එක කියන්නයි..
මගෙ යාලුවෙක් හිටියා මම එයාව සමන් කියලා අන්වර්ථ නාමයකින් හඳුන්වන්නම් මේකයි එයාගෙ කතාව...
සමන් කියන්නෙ හරිම හොඳ නිවුන අහිංසක කොල්ලෙක්.. ..දැනට අවුරුදු හය හතකට කලින් මේ සමන් යාලුවෙලා හිටියා කැම්පස් එකේ ගෑනු ලමයෙක් එක්ක... ටික දවසක් යනකොට ඒ ගෑනු ලමයා කැම්පස් එකේ වෙන සම්බන්ධයක් පටන් අරගෙන සමන්ට බූට් එක තියනවා.. අවංකව ආදරය කරපු සමන් මේකෙන් පිස්සෙක් වෙනවා... දුක දරාගෙන ඉන්නම බැරි තැන සමන් යනවා ඒ ගෑනු ලමයව හොයාගෙන එයාගෙ කැම්පස් එකට එයා එක්ක මේ ගැන කතා කරන්න... ඒ ගියාම ඒ ගෑනු ලමයයි එයාගෙ අලුත් පෙම්වතයි එකතු වෙලා මේ අහිංසකයට බැනලා එලවලා දානවා .. කාගෙවත් හිතක් රිදවන්න අකමැති මිනිහෙක් වෙව්ච සමන් ඒ තරහට බයික් එකේ නැගලා අනේ මාව හැප්පිලා මැරිලා පලයං කියලා වේගෙන් ඇවිත් තියෙනවා හිතේ වේදනාවටත් එක්ක.. කුරුණෑගල ඉඳලා අලවුවට එන අතර මග තියෙන ස්පා එකක් දැකලා සමන්ට හිතුනලු මේකට ගිහින් බලන්න ඕනේ මේකෙන් වත් සහනයක් ලැබෙනවද බලන්න ඕනෙ කියලා.. මීට කලින් ස්පා සහ ඒවයේ කෙරෙන දේවල් ගැන අහලා තිබුන නිසා සමන් හිතුවලු අරකිගෙන් පලිගන්න මම මේ ගෑනු කෙනෙක් එක්ක මොනව හරි කරලා හිත හදාගන්නවා කියලා.. බයික් එක නවත්තලා ඇතුලට ගියාම කෙල්ලො පස් දෙනෙක් ආවලු ඉස්සරහට සමන් ඒ ගමන්ම එයාලගෙන්
" මට වතුර ටිකක් දෙන්න"
කියලා ඉල්ලනවා.. එතන හිටපු ගෑනු ලමයින්ට තේරෙනවා මේ මනුස්සයා ඉන්නෙ මොකක් හරි අවුලක කලබලයක කියලා.. වතුර ටිකක් දීලා ඒ අය
" ඇයි ඔයා මේ කලබල වෙල වගේ .. මොකක් හරි ප්‍රශ්නයක්ද "
කියලා සමන්ගෙන් ඇහුවම එයා හිත සැහැල්ලු කරගන්නත් එක්ක මේ ගෑනු ලමයි ටික එක්ක තමන්ට උන දේ කියනවා .. කතාව අහගෙන ඉඳලා මේ ලමයි ටික සමන්ගෙන් අහනවා
" ඔයා දවල්ට කාලාද ඉන්නෙ "
කියලා..ඒකට උත්තරය විදිහට
" නෑ මොනවත් කාලා නෑ "
කියලා සමන් කීවම ඒ ලමයි කියනවා
" අපි මේ දවල්ට කන්න උය උයා හිටියෙ ඔයාත් කමු එහෙනම්"
කියලා.. දවස් ගානක් නොකා හිටිය සමන් ඒ ලමයි එක්ක කුස්සියට ගිහින් එයාලටත් උයන්න උදවු කරලා එහෙම දවල්ට එයාලා එක්කම කෑම කනවා...ඒ පුංචි කුස්සියෙ උයපු .. පරිප්පු , පොල් සම්බෝල එක්ක තිබුන සෝසේජස් බැදුම එක්ක සමන් බත් කන්නේ හරි ආසාවෙන්.. එයාලගෙ අහිංසක කෑම වේල ආසාවෙන් කාලා ඉවර වෙලා තව ටික වෙලාවක් එයාලා එක්ක කතා කර කර ඉඳලා මගෙ යාලුවා රුපියල් පන්දාහක් ඒ ලමයි අතට දීලා කීවලු
"මං එහෙනම් යන්නං ඔයාලා මේ සල්ලි ගන්න මොනව හරි ආස දෙයක් කන්න ගෙන්නගන්න "
කියලා...ඒ ගෑනු ලමයි ඒක තරයේම ප්‍රතික්ශේප කරලා කියනවා
" අයියෙ අපිට සත පහක් වත් එපා.. අපි මනුස්ස කමට ඔයාට සැලකුවේ.. අමාරු වෙලාවකදි හිත හදාගන්න උදවු කරන එක තමයි අයියෙ මනුස්ස කම කියන්නෙ.. ඔයා පරිස්සමෙන් ගෙදර යන්න "
කියලා...
එදා ඒ සලකපු ලමයි අතරේ හිටපු එක ගෑනු ලමයෙක්ව තමයි අද ඒ සමන් බැඳලා ඉන්නෙ.. දැන් අවුරුදු හයක් වෙනවා අදටත් ඒ දෙන්නට දෙන්නා පුදුම ආදරේකින් ඉන්නෙ.. වචනෙකින් වත් එක්කෙනෙක් අනිත් කෙනාගෙ හිත රිදවන්නෙ නෑ.. එයාලට අවුරුදු තුනක බබෙකුත් ඉන්නවා දැන්.. ගොඩක් කාලෙකින් ඊයෙ මට හම්බ උනා ඒ දෙන්නව.. කතා කර කර ඉඳලා යනකොට මට ඒ දෙන්නා කියනවා
"දනුශ්ක අයියේ අපි දෙන්නගෙ කතාවත් ඔයා ලියලා දාන්නකො .. මේ කතාව අදටත් දන්නේ අපි දෙන්නයි මෙයාගෙ එතන හිටපු යාලුවො හතර දෙනයි විතරයි ඒක නිසා බොරු නමකින් හරි මේක ලියන්න අයියෙ...ආදරේ කරන්න ඕනෙ වෙන්නෙ ලස්සන හදවතක් විතරයි කියලා එතකොට හැමෝම තේරුම් ගනීවිනේ "
කියලා..
ඇත්තටම ආදරේ කරන්න ඕනෙ ලස්සන හදවතක් විතරයි.. ලස්සන හදවත් ඕනෙම තැනක තියෙන්න පුලුවන්.. සමහර විට ඒ හදවත් තියෙන තැන් ගැන විනිශ්චය කරන්න ගිහිල්ලා ඔයාලටත් ලස්සන හදවත් මගහැරෙන්න ඉඩ තියනවා...
ධනුෂ්ක කාංචන ජයවීර මුහුණුපොත ඇසුරෙන්..