තමන්ගේ සැමියා හෝ බිරිඳ සැක කරන්න කළින් ඒ ගැන දෙපාරක් හිතන්න.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්..
තව ටිකක් මේ කතාව දුරදිග ගියා නම් සමහරවිට පවුලක් විනාස වෙන්න වුණක් ඉඩ තිබුණා.. ඔහු විවාහකයෙකි. රාජ්‍ය සේවයේ නියැලෙන අයෙක්.. බිරිය ගෘහනියක්.. අධ්‍යාපනය හදාරන වයසේ පසුවෙන දියණියක් හා පුතෙක් ඔවුනට සිටියා.
සැමියා ආයතනයේ රියැදුරකු ලෙසට සේවය කරන නිසා ඔහුට රට වටා යාමට සිදුවෙන අවස්ථා එමටය. ඒ එම ආයතනයේ වගකිවයුතු නිලධාරින් කැටුවයි.
එලෙස සේවයට යන ඔහු දින කිහිපයක් යනතුරා නිවසට නොපැමිණෙන අවස්ථාද ඇත. මේ නිසා සැමියාගේ දුක සැප නිවසේ පසුවෙන බිරිය දුරකථනයෙන් විමසයි.
එවිට රියැදුරු සේවයේ යෙදෙන ඔහු කාන්තාවක සමග ගමන් ගන්නා අයුරු දුරකථන සංවාදයක සිටින බිරියට වැටහෙන අවස්ථාද තිබුණා.
ඒ කවුදැයි කියා ඇය විමසුවත් “ඒ අපේ සර්” යනුවෙන් ඔහු පවසන නමුත් ඊට වඩා යමක් ඔහු පවසන්නේද නැත. මේ නිසා ඇය ඒ සම්බන්ධව දෙගිඩියාවෙන් යුතුව පසුවූවා..
ඔහු සති අන්තයේ සේවය නිමවා නිවසට එන ගමනේදී තැබෑරුම අසල නැවතුනා. ඔහු පදම ඉක්මවා පමාවී නිවසට ගොඩ වැදුනා. මේ තත්වය හමුවේ බිරිය වෙනදා මෙන් ළෙන්ගතුභාවයක් නැති අතර එහෙත් ඒ ගැන ඔහු විපරම් කෙරුවේ ද නැහැ.
පසු දින උදේම ඔහුගේ දුරකථනය නාදය වුණා. ඔහු ඊට පිළිතුරු දෙන්නට නිවසේ සිට පිටතට ගියා. ඒ නිවසට පැහැදිලි ලෙසට දුරකථන සංඥා නොමැති නිසා..
ඒ ගැන වැටහීමක් නැති බිරිය ද ඔහු පවසන්නේ කුමක්දැයි ඇසීමට ඔහුට හොරා පිටුපස්සෙන් පියමැන්නා.
සැමියා ඇයට කම්මුල් පහරක් ගැසුවා. අනුන්ගේ සංවාද ඇසීම හොඳ පුරුද්දක් නොවන බව පවසා ගෙට යන ලෙසට අතින් සංඥා කෙරුවා.
බිරියගේ සැකය සැබෑවක් බවට ඉස්මතු වූ අතර පහර කෑ ඇය ගෙට දිව ගියා. කාමරයට වැදී විලාප දෙන්නට පටන් ගත්තාය.
යාබද නිවසේ වෙනම පදිංචිව සිටින ඔහුගේ මව හා පිය ඇය විලාප දෙන්නේ ඇයි දැයි අසන්නට ආවා.
“මෙයා වෙන ගැහැනියක් එක්ක සම්බන්ධයක් පවත්වනවා. දින ගණනාවක් තිස්සේම මම මේක කාටවත් කියන්නේ නැතිව සඟවාගෙන හිටියා. ඇයි මට මෙහෙම කරන්නේ.” ඇය නගනා විලාපයේ තොරතෝංචියක් නැහැ.
ඔහුගේ සංවාදය තවම නිමා වී නැහැ. එය නිමවෙන තුරා එම දෙපල ද පුතු එන තුරා බලා සිටියා.
එය නිම වූ සැණින් ඔවුහු පුතාගේ ඇඟට කඩා පැන්නෝය.
“යකෝ ගැහැනියක් අරගෙන දරු මල්ලන් ලැබුණාට පස්සේද ගත්තු එකී හොඳ නෑ කියලා පේන්නේ. දැන් ඒකී දාලා වෙන එකියක් එක්ක කරක් ගහනවා කියන්නේ” ඔවුහු, පුතුට නෝක්කාඩු කියමින් දෙහි කපනවා.
කිසිවක් වැටහෙන්නේ නැති ඔහු මවුපියන් පවසන්නේ කුමක්ද කියා අසා දැන ගත්තා.තිදෙනාම ගෙට වැදුණා.. ඒ වනවිටත් බිරිය තවමත් කාමරයේ පෙරළී විලාප දෙනවා.
බිරියට තවත් පහරක් ගැසු ඔහු සැකයට බඳුන් වූ කරුණු වටහා ගත්තා..
ඔන්න තාත්තේ, මම එයාට කතා කරනවා. ඔයාලා අහගෙන ඉන්න. ඔහු දුරකථන ඇමතුමක් ගත්තා.
ගෙදර වෙලා තිබෙන සිදුවීම නොකියා “සර්. මම එනවා නම් කීයටද එන්න ඕනෑ” ඔහු ඇසුවේය.
එවිට කතා කළේ කාන්තාවක්.
ඒ ගැහැනි කවුද පියා ඇසුවා.
“තාත්තේ ඒ ගෑනියෙක් නෙමෙයි. අපේ ඉංජිනේරු මහත්තයා. එයාගේ කටහඬ එහෙම තමයි. බෙහෝ දෙනකු ගැහැනියක කියලා රැවටෙනවා.”
අම්මයි, තාත්තයි දෙන්නා කොක් හඬලා සිනාසෙන විට සැමියා කියන දේ තේරුම් ගන්න බැරිව සිටි බිරිය සැබෑ තත්වය වටහාගෙන ලැජ්ජාවෙන් යුතුව කඳුඵ පිසදමා තේ සැදීම සඳහා මුළුතැන්ගෙට ගියා..