කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ අධ්යක්ෂවරයෙක් , දේශකයෙක් වගේ ඉතා අපූරූ ලියන්නෙක්.
ඉතින් ඔහුගේ අලුත්ම කෘතිය " සීනි මුරුක්කු " පසුගියදා එළි දැක්වුණා.ඔබ දන්නා කියන කලා තරු වගේම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඒ අවස්ථාව සහභාගී වුණා.ඉතින් සීනි මුරුක්කු ගැන කසුන් මෙන්න මේ වගේ සටහනකුත් තබා තිබුණා.
අවුරුදු හතරක් වගේ දිගු කාලයක් තිස්සෙ නිදි නැති රාත්‍රීන් ගණනාවක් පහු කරගෙන මං මගේ මනසින්, හදවතින්, මොළයෙන් සහ දකුණතින් ලියාපු මගේ 'පළවෙනි කෙටි කතා පොත' තමයි සීනි මුරුක්කු.පොතේ කෙටි කතා හරියටම විස්සක් තියෙනවා. ඒ හැම කෙටි කතාවටම අදාළව එකිනෙක වෙනස් 'සිතුවම් විස්සක්' මේ පොත කියවනකොට ඔබට හමුවෙනවා. ඒ සකල සිතුවම් ඇන්ද සුදක්ෂ සිත්තරී මගේ බිරින්දෑ මාධවී. මෙච්චර කාලෙකට බහුතරයක් නුදුටු ඇගේ ඒ සිත්තම් දස්කම් සීනි මුරුක්කුත් එක්ක නැවුම් ප්‍රාණයක් ලබනවා.
මායි, මාධවියි ප්‍රේමෙන් බැඳිලා ටික කාලෙකට පස්සෙ එක්තරා හැන්දෑවක හොට් චොක්ලට් බඳුනක් තොලගාමින් ඉද්දි ඈ හරි අපූරු පැනයක් මගෙන් ඇහුවා.
'ඔයා දන්නවද අපේ සම්බන්ධෙ තියෙන වටිනම දේ මොකක්ද කියලා ?'මං ඇගේ අතින් අල්ලගෙන කටින් මුකුත් නොකියා නිහඬ හිනාවක් පෑවා. ඒ සැරේ මාධවීම එයාගෙ පැනයට අදාළ උත්තරේ මා දිහා බලන් කීවා.'අපේ ආදරේ ඵලදායී සම්බන්ධයක්. මාරම ඵලදායී !'ඒ ආදර ඵලදායීතාවයේ අලුත්ම ප්‍රතිඵලය තමයි මිතුරනි, සීනි මුරුක්කු.
පොත එළිදැක්වීමෙ මංගල්ලෙන් පස්සෙ එකදිගට ගලාගෙන එන ප්‍රතිචාර, ආශීර්වාද, සුපැතුම් සහ 'අපාය සහායක සුමිතුරන්' නිසා මේ මොහොත වෙනකොටත් තවම මං අවදියෙන්
ගෙවී ගිය හවස මනරම්. රමණීය දවස ඉස්තරම්. ඒ සීනි මුරුක්කු සොයා මා කරා ආව සහෘද පාඨක ප්‍රේක්ෂක ඔබ නිසා. ඔබේ කොන්දේසි විරහිත ප්‍රේමය නිසා.
තව දුරටත් මේ පොත මගේත්, මාධවීගේත් විතරක් නෙවෙයි.
අපි හැමෝගෙම.ඉතිං කියවන්න, විඳගන්න, ඔබේ ඇත්තම අදහස්, රසාස්වාද, විචාර, චෝදනා, යෝජනා සියල්ල අකුරක් නෑර මට කියන්න. ඒවා මං අකුරක් නෑර කියවන්න මඟ බලාගෙන ඉන්නවා.
-කසුන් මහේන්ද්‍ර හීනටිගල