ඉඩකඩම් දේපළ පිළිබඳ වස්තු තණ්හාව අතහැර, ඒවා දූ දරුවනට පවරා, සිත නිදහස් කැර නොගෙන මිය යන්නෝ අනිවාර්යයෙන්ම එම දේපළ ආශ්‍රිතව මළ ප්‍රේතයෝ වී උපත ලබති.
“උඹලා ආවා මෙතන බොක්ක පැලෙනකම් කන්න. මගේ දේවල් කන්න. දුවපියව්, දුවපියව්...” කියමින් දානෙ ගෙදර ආහාර ගනිමින් සිටි ඥාති හිතවතුන්ට රංජනී කොස්සක් කැඩෙනතුරු පහර දී ගෙදරින් එළවා ගත්තාය.
සමහරු කකා සිටි බත් පිඟන් අතහැර දා දුවන්නට වූහ. තවත් සමහරු කොහු මිටි පහර කා ඔළු පලාගෙන ලේ ගලමින් දිවූහ. කාන්තාවෝ කුඩා දරුවන් තුරුලු කැර ගෙන දිවූහ. රංජනීගේ පියා මියගොස් තුන් වසරක් පිරෙන දා ඇගේ නිවසේ පැවැති සාංඝික දානමය පිංකමට ඇගේ ම ආරාධනයෙන් පැමිණි ඥාති මිත්‍රාදීන්ට ඇයම කොස්සෙන් පහර දී එළවා ගැනීම කාටත් ප්‍රශ්නයක් විය.
දානයට වැඩම කළ භික්ෂුන් වහන්සේ දන් වළදා ආපසු වැඩම කළ හැටියේ ම මේ විපිරියාසය සිදුවිය.
රංජනී පිළිමතලාවේ පදිංචි පනස් හැවිරිදි දෙදරු මවකි. ඇගේ නිවස පුරා දුර්ගන්ධයක් පැතිරීම, සෑම ආහාරයක් ම තෙල් කුහුඹුවන් ගෙන් වැසී යෑම, ආහාර ඉක්මනින් පිළුණු වීම, නිවසේ බඩු සෙලවීම මෙන්ම රංජනීට කෑම අරුචිය, හා බඩේ වේදනා ඇතිවීම යන දුක් කරදරවලින් මේ පවුලේ අය පෙළුණාහ.
මේ කරදරවලින් මිදෙන්නට විවිධ පිළිවෙත්වලින් ද ලෙඩ රෝගවලට කළ වෛද්‍ය ප්‍රතිකාරවලින් ද කිසිඳු සහනයක් නොවීය. ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ රංජනීගේ අවධානයට යොමු කරනු ලදුව, ඒ අනුව රංජනී, සිය සැමියා සහ මෑණියන් සමඟ එහි ගියාය.
එහි දී ආධ්‍යාත්මීය උපදේශකවරයා විසින් රංජනී වෙත ශක්ති කිරණ එල්ල කරන ලදුව ඇය වෙව්ලන්නටත්, පැද්දෙන්නටත් වූවාය.
එදින ඉන් එහා දෙයක් මතු කරන්නට තරම් ඇයට හෝ භූතාත්මයට හෝ ශක්තියක් නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. ඊළඟට පැමිණි දිනයේ රංජනී ආවිෂ්ටව අඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“ඇයි මේ අඬන්නෙ?”
“මට මේවා දාලා යන්න බෑ. මේවා මගේ දේපළ. මේ මම දුක් මහන්සියෙන් ගොඩනඟා ගත්ත දේවල්. ඇයි දෙයියනේ, මම කොහොම ද මේවා දාලා යන්නෙ? අනේ මහත්තයා මට යන්න නම් කියන්න එපා. මට මේවා දාලා යන්න බෑ” යි භූතාත්මය කීවේය.
“මේ කවුද? මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?”
“මේ දුවගෙ තාත්තා”
“නම මොකක්ද?”
“රත්නපාල”
“ඇයි මේ ශරීරයට ආවේ?”
“එන්න දෙයක් නෑ. මේ ගෙදර මේ ඉඩම්වල තමයි මම එදා ඉඳලම හිටියේ.”
“ඇයි මේ දුවගෙ ඇඟට ආවෙ කියලයි මම ඇහුවේ”
“නෑවිත් පුළුවන් ද? වල් යක්කු, වල් කොල්ලො මේකි මගේ ගේ ඇතුළට දාගෙන දානයක් දෙනවැයි කියලා මඟුලක් කෑවා.”
“ඉතින් ඒ දානය හොඳයි නේද?”
“මොන හොඳක් ද? එදා ගෙදරට ආපු එවුන් පවුල් පිටින් ආවෙ. උන්ගෙ පොඩි එවුන් ගේ වටේ තියෙන ගස්වැල් වල මල් කඩා දැම්මා. කොළ කඩා දැම්මා. මම බලාගෙන හිටියෙ තරහෙන්. ඒ මදිවට මගේ ගෑනිත් එන එන එවුන් එක්ක කතාවට වැටිලා. කියෝනවා. කියෝනවා. කෙළවරක් නෑ. මම බොහොම අමාරුවෙන් ඉවසා ගෙන හිටියේ. හාමුදුරුවරු දානෙ ඉවර වෙලා ගිය ගමන් ගෙදරට ආපු එවුන්ට ගහලා පැන්නුවා. සමහරු පස්සා බල බලා දිව්වේ.”
“ඇයි එහෙම කළේ?”
“ඇයි එහෙම කළේ කියලත් මහත්තයා අහනවා. උන් කෑවෙ මගේ දේවල්නෙ. බඩවල් පැළෙනකම් ගිල්ලන්න ලැහැස් වුණා. මම කොස්සෙන් ගහලා පැන්නුවා.” ඉන් පසු භූතාත්මය ඇගේ ශරීරයෙන් ඉවත් කොට රංජනීගේ පියා ගැන විස්තර ඇහුවේය.
“මට තාත්තගෙ සම්පූර්ණ විස්තරය කියන්න. එතකොටයි හරියට ප්‍රතිකාර කරන්න පුළුවන්. මේ නෝනාව සනීප කරනවා වගේම ඒ දුගතිගාමීව ඉන්නා තාත්තාවත් දුගතියෙන් මුදවන්න බලන්න ඕනෑ. ඒක තමයි මිනිසුන් වශයෙන් කළ යුතු ලොකු ම යුතුකම.”
“ඔව් මහත්තයා. මම සම්පූර්ණ විස්තරය කියන්නම්” යැයි රංජනී විස්තරය පටන් ගත්තාය.
“අපේ තාත්තා හරිම ලෝබයි. කිසිම දෙයක් කිසිම කෙනෙකුට දෙන්නේ නෑ. වත්තට සතෙකුටවත් එන්න දෙන්නෙ නෑ. වත්ත වටේ ම කම්බි ගහලා දැල් ගහලා බල්ලෙකුටවත් එන්න බැරිවෙන්න. ගේට්ටුව වහලා හිඟන්නෙකුටවත් එන්න බෑ. දේපළවලට හරිම ලෝබයි. තුන් වේලටම බත් උයන්න අම්මට හාල් ටික දෙන්නෙත් තාත්තා ම මැනලා කිව්ව ම තාත්ත ගෙ ලෝබකම ගැන හිතාගන්න පුළුවන්නෙ” යි ඇය කීවාය.
රංජනීගෙ ස්වාමි පුරුෂයා ඊළඟට කතා කළේය. “තාත්තා මැරිල අවුරුදු තුනක් ගෙවෙන දවසෙ අපි ගෙදර සාංඝික දානයක් දුන්නා. දානෙ කටයුතු ඉවර වෙලා හාමුදුරුවරු ගෙදරින් පිටත් වෙලා ගිය හැටියේ රංජනීගෙ හැසිරීම අමුතු වුණා. ඇස් දෙකේ බැල්ම නපුරු වුණා. කෑ ගහගෙන ආවේශ වුණා වගේ කොස්ස අරගෙන මිනිසුන්ට ගහන්න පටන්ගත්තා. කෑම කකා හිටපු මිනිස්සු දුවන්න පටන් ගත්තා. එදා ඉඳලා තමයි මෙයාගෙ අසනීප ඔක්කොම” යැයි කීවේය. තවත් දවස් හතක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේ ය. රංජනී නැවත පැමිණි දිනයේ ද ප්‍රලය වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“රත්නපාල කවදද මැරුණේ?”
“මතක නෑ”
“මැරුණම මොකද වුණේ?”
“මතක නෑ”
“මොනව ද මතක?”
“මගේ ගේ දොර ඉඩම් දේපොළ”
“ඔය තණ්හාව නිසා දැන් තමුන් ඉන්නේ ප්‍රේතයෙක් වෙලා. ඔය තණ්හාවෙන් ම තවත් හිටියොත් තමුන් තවත් පහළට යාවි. නරක ද දිව්‍ය ලෝකයට ගියොත්? දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවො ඉන්නවා. දිව්‍ය විමාන තියෙනවා.”
“එතකොට මගේ ඉඩම්?”
“ඔය ඉඩම් රත්නපාලගෙ නෙමෙයි. ඒවා රත්නපාලගෙ තාත්තාගෙ. ඔය ඉඩම් රත්නපාලගෙ තාත්තගෙත් නොවෙයි. එයාගෙත් තාත්තගෙ. ඒ අය ඔය ඉඩම් ගැන තණ්හාව අතහැරලා ගිහින්. රත්නපාල තාමත් ඉඩම් බදාගෙන දුක් විඳිනවා. ඕක දුවට අතහැරලා රත්නපාල නිදහස් වෙලා යන්න.”
“දිව්‍ය ලෝකෙ යන්නෙ කොහොම ද මහත්තයා?”
“තණ්හාව අඩු කරලා. පින් දහම් කරලා. දානමාන දීලා.”
“එපා එපා ඔය හදන්නෙ ආයෙත් දානයක් දෙන්න, මුන්ට කියන්න එපා දානෙ දෙන්න කියලා, ඒකත් මගේ දේවල් වියදම් කරන වැඩක්.”
“හොඳයි හොඳයි එහෙනම් දිව්‍ය ලෝකෙ යන්න ඕනැ නම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා නිතර කියන්න.”
“බෑ... බෑ... බෑ... මං දන්නවා ඔය එක එකාගෙ හැටි, මට සංඝං සරණං ගච්ඡාමි කියලනම් කියන්න බෑ. මගේ සල්ලි අරගත්තා, ආපහු දුන්නෙ නෑ, මම මළාට පස්සෙ ඒක නොගත්තා වගේ දැන් නිශ්ශබ්දව ඉන්නවා. මගේ මතක වස්ත්‍රයත් අරගෙන ගියා. මගෙන් ගත්ත සල්ලි ටික ආපහු දුන්නෙ නෑ, මට බෑ සංඝං සරණං ගච්ඡාමි කියන්න.”
“එහෙම කියන්න එපා. සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක මහා රහතන් වහන්සේලාගෙන් පැවත එන අනුත්තර වූ පින් කෙතක් බඳු වූ මහා සංඝ රත්නයට අපහාස කරන්න එපා. එක් කෙනෙක් කළ වැරැද්දට මුළු සංඝ ශාසනයට ම බණින්න එපා. ගරහන්න එපා. මම මේ රංජනීගෙ පවුලෙ අයට නියම කරනවා තවත් බෝධි පූජා දහ හතරක් තියන්න. ඔබත් ඒ බෝධි පූජාවලට යන්න ඕනෑ. තමුන් ඒ බෝධීන් වහන්සේ ළඟ ඉඳ ගෙන මේ අයගෙ බෝධි පූජාව අවසන් වෙන තුරු බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, කියන වාක්‍ය තුන එක දිගට නොකඩවා කියන්න ඕනෑ” යි භූතාත්මයට නියම කළේය. ඒ බෝධි පූජා අවසන් කොට නැවත පැමිණෙන ලෙසත්, නිවසේ ඇති පියාගේ (රත්නපාලගේ) ඡායාරූප සියල්ලම දර්ශනයෙන් ඉවත් කරන ලෙසත් උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි රංජනී යළිත් ප්‍රලය වූවාය.
“දැන් කොහොම ද බෝධි පූජාවලට ගියාට පස්සෙ?” යි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.
“හොඳයි, දැන් වේදනාව තරහව අඩුයි, සතුටක් දැනෙනවා. ඒත් මේවා දාලා යන්න නම් අමාරුයි, දිව්‍ය ලෝකෙ යන්නත් ඕනෑ.”
“දිව්‍ය ලෝකෙ යන්න නම් සිද්ධස්ථානයකට වෙලා එතැන කරන පින් දහම්වලට සහභාගි වෙන්න ඕනැ. තමන් කොතැනට ද යන්න කැමති?”
“මම වන්දනාවෙ ගිහිල්ලා නෑ මහත්තයා. ඒවාට මුදල් නාස්ති කළේ නෑ. මහත්තයා හොඳ තැනකට යවන්න.” සුදු නෙළුම් මල් වට්ටියක් හා වැටකෙය්යා මලක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට යැව්වේය. ඉඩකඩම් දේපළ පිළිබඳ දැඩි තණ්හාවෙන් ජීවත් වන්නෝ, මරණයෙන් පසුව ද එම දේපළ ආශ්‍රිතව දුගතිගාමී ප්‍රේතයන් වී, ප්‍රේතියන් වී ඉපිද අවුරුදු දස දහස් ගණන් දුක් විඳිති.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත