හොරකමක් නිසා මධු සමයට යාම වෙනුවට පොලීසි යාමටත් විදුලි සංදේශ නියාමන කොමිසමට යාමටත් සිදුවූ මනාළ යුවළක් පිළිබඳ කතාවකි මේ.
දකුණේ කඳුකර උපනගරයක විසූ තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ විවාහයට දින නියම විය.
මනරම් පරිසරයක පිහිටි උත්සව ශාලාවක් ඒ සඳහා තෝරා ගැනුණි. සීමිත පිරිසකට පමණක් ආරාධනා කළ යුතු වූ හෙයින් සමීපතම නෑ පිරිසකටද සමීපතම මිතුරන් පිරිසකටද ආරාධනා කෙරිණි.
නව යුවළගේ පැතුම් ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් අලංකාර ශාලාවේ මංගල උත්සවය ආරම්භ විය. ඥාති හිතමිත්‍රාදීන්ගේ උණුසුම් සුබ පැතුම් මැද පෝරුවේ චාරිත්‍ර ආරම්භවිය. මනාලියගේ අත මත ජංගම දුරකතනය විය.
පොරුවේ චාරිත්‍ර ආරම්භ කිරීමට පෝරුව මතට ගොඩවීමේදී මනාළිය එම ජංගම දුරකථනය කා අතට දුන්නා හෝ කිසියම් තැනක තැබුවා විය හැකිය.
ඉමිහිරි ගීත නාද දසත පැතිරෙමින් තිබිණි. සමීපතම ඥාති හිතමිත්‍රාදීහු කමින් බොමින් සතුට සැමරූහ. කාගෙත් සිත්වල වූයේ සතුටකි. මනාළ යුවළගේ සතුට දෝර ගලා යමින් තිබිණි. සියලු කටයුතු හිතුවාටත් වඩා හොඳින් සිදු කෙරෙමින් තිබිණි.
මධු සමය සඳහා පිටත්වීමේ නැකත එළැඹුණි. මවුපියන් නෑ හිතවතුන් සිප වැළඳ ගෙන මනාළ ජෝඩුව හෙමින් හෙමින් පියවර තැබුවේ පෝටිකෝව යට නතර කර තිබූ මෝටර් රථය වෙතය.
මනාළියට එක්වරම අමුත්තක් දැනුණි. ඇයට දෙවියන් සිහිවිය.
මගේ ෆෝන් එක නෑ. මනාළිය කීවාය. සියල්ලෝම යුහුසුළු වූහ. කොතෙක් සොයා බැලිම් කළද දුරකතනය සොයා ගැනීමට නොහැකි විය. උත්සව ශාලාවේ පිටත සීසීටීවී කැමරා සවිකර තිබුණද ශාලාව තුළ සීසීටීවී කැමරා නොවීය.
මංගල උත්සවයට සහභාගීවී සිටියේ මනාළ යුවලගේ පවුලේ සමීපතමයන් හා හිතවතුන් පමණි. එහෙත් ජංගම දුරකතනය නැත.
‘අසූ දාහක් දිලා ගත්තේ’ මනාළියගේ හඬ හැඬුම්බරය.
‘කරන්න දෙයක්නෑ. අපි පොලිසියට යමු’ මනාළයා කීවේය.
මධු සමයට යා යුතුවුවද ගමන ප්‍රමාද කෙරිණි. මනාළ යුවළට සිදුවූයේ මංගල ඇඳුමෙන්ම පොලිසියට යාමටය.
ඊට පසු විදුලි සංදේශ නියාමන කාර්යාලයටද පියවර මැන්නේ මංගල ඇඳුම් පිටිනි. ඒ සියල්ල අවසානයේ මධු සමයට පිටත්වන විට අලුත් ජෝඩුව සිටියේ හොඳටම හෙම්බත්වය.
මාර වැඩේ සමීපතමයෝ වැඩිහිටියකු කියනු ඇසිණි.