ඔහු වර්තමානය වෙනකොට ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.. ඒ ඔහුගේ ඡායාරූපකරණය නිසා කිව්ව්වොත් හරියටම හරි..
ඉතින් ඒ නිසාම ඔවුන් දෙදෙනාත් ඒ අයගේ විවාහ ගිවිස ගැනීම දවසේ අමතක නොවෙන ඡායාරූප පෙළක් ගන්න ඔහුවම තෝරාගෙන..
කවුරු ගැනද මේ කියන්නේ.. බොහොම සාමාන්‍ය විදිහට තමන්ගේ ලස්සන දවස බෞද්ධාගමානුකූලව ඉටු කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර නිසිආකාරයෙන්ම කළ දෙව්නක පෝරගේ සහ හෂිනි වෑදණ්ඩගේ විවාහ ගිවිස ගැනීම ගැනයි මේ කියන්න යන්නේ..
ඉතින් ඉතා චාම් විදිහට ඒ දෙන්නා මේ ගිවිස ගැනීම සූදානම් වෙලා තිබුණත්, එහිදී ගත්ත ඡායාරූප පෙලක් ගැන අද වෙනකොට සමාජමාධ්‍යවල විවිධ කතා මැවෙනවා..
තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ අත් විඳින්න ලැබුණ මේ අත්දැකීම ගැන සහ ඇත්තටම එතන වුණේ මොකද්ද කියන එක ගැන ඡායාරූප ශිල්පී ලක්මාල් සිංහාරගේ මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතේ සටහනක් තබා තිබුණා..
"පසුගිය දිනෙක මා විසින් ගත් ඡායාරූප කිහිපයක් කිසියම් අවධානයට ලක්වී තිබෙනවා. ඒ ඡායාරූප ප්‍රවීණ රංගන ශිල්පී සහ නීතිවේදී දෙව්නක පෝරගේ සහ සංගීතවේදිනී හෂිනි වෑදණ්ඩ යන ආදරණීය යුවළගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේදී ගත් ඡායාරූප කිහිපයක්.
ඔවුන් යුවළ සැදැහැවත් බෞද්ධයන් වන නිසා ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ කටයුතු සිදු කරන්නට තෝරා ගත්තේ මහනුවර පිහිටි බොදු පින් බිමක බෝ මළුවක්. පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සාම්ප්‍රදානුකූලව චාරිත්‍ර සියල්ල ඉටු කරලා, බොහොම චාම්, සරල විදියට තමයි ඒ කටයුතු සිදු වුණේ.
ඔබ දකින්න ඇති කොච්චර චාම්, සාම්ප්‍රදායික උත්සවයක්ද කියලා ඒක. එහි ඡායාරූප කරේ මම. මටත් ඡායාරූප ගන්නකොට හිතුණේ මේක මේ රටේ හැම තරුණයෙක්ටම, තරුණියක්ටම ආදර්ශයක් නේද කියලයි.
ගිවිස ගැනීම ඉවර වෙලා ඔවුන් දෙපළ ගියේ මහනුවර දළදා මාළිගාවට උතුම් දළදා වහන්සේගෙන් ආශිර්වාද ගන්න. එහිදී විවෘත තැන්වල ඡායාරූප කිහිපයක් අපි ගත්තා. විශේෂ අවසර ගන්න අවශ්‍ය තැන් නෙමෙයි. මාළිගාවෙ විවෘත තැන්වල. එයට දියවඩන නිළමේ හෝ දළදා මාළිගාවේ පොලීසිය හෝ කිසිදු නායක හාමුදුරුවන් කෙනෙක් සම්බන්ධ නෑ. කිසිදු මුදල් ගණුදෙනු නෑ.
ඒ වගේම සමහර පිරිස් දාලා තිබුණා මේක ප්‍රී ශූට් එකක් කියලා. ප්‍රී ශූට් කරන්නේ වෙඩින් එකකට කලින්. මෙතන වෙඩින් එකක් පැවැත්වුණේ නෑ. මේක ගිවිස ගැනීම ඉවර වෙලා මාළිගාවට ආශිර්වාද ගන්න ගියාම ගත්ත ඡායාරූප දෙක තුනක් විතරයි.
මීට වඩා දළදා මාළිගාව ඇතුළේ දෙස්, විදෙස් අය ගත්තු මේ වගේ ඡායාරූප ඕනෑ තරම් තියෙනවා. මෙහිදී දළදා වහන්සේට හෝ දළදා මාළිගාවට කිසිම අගෞරවයක් අපි කළේ නෑ. යුවළගේ ඇඳුම් වුනත් බලන්න. කොච්චර සංවර, චාම් ඒවද කියලා. මේ කාලේ තමන්ගේ විවාහ ගිවිස ගැනීම්වලට නිස්කාරණේ කරන වියදම්, යොදාගන්න නොගැලපෙන විලාසිතා නානාප්‍රකාර, ඔබ දැකලා ඇති.
ඒත් දෙව්නක සහ හෂිනි හැදෙන්නේ වැඩෙන්නේ බෞද්ධ පරිසරයක. ඔවුන්ගේ දෙමාපියන් හැමදාමත් වැඩ කරන්නේ බෞද්ධ ආගම නගා සිටුවන්න. මේ වගේ යහපත් සංකල්පයක් සමාජයට ඉදිරිපත් කරන්න දෙව්නක, හෂිනි ගත්තු වෑයමට මම නම් ගරු කරනවා.
මේ කිසිම ඡායාරූපයකින් දළදා මාළිගාවට කිසිම අගෞරවයක් වුනේ නැති බව මම ආයෙත් සිහිපත් කරන්න ඕන.
ඒත් මේ ඡායාරූපවලින් කාගේ හෝ හිත රිදුනා නම් ඒකට අපි කණගාටු වෙනවා.
විවේචනය කරන්න කලින් මදක් හිතලා බැලුවා නම් වටිනවා..."