ඇස් දෙක පණ වගේ රැක ගත යුතුයි කියන්නෙ ඇස් පෙනීම නැති වුහොත් ජීවිතේ මහා වේදනාකාරී එකක් වන නිසයි.
නිරෝගි අයත් ඇස් පෙනීමේ රෝග තත්ත්ව හැදෙන නිසා එය ඒ හැටි ගණන් නොගෙන සිටින අයෙක් බොහොමයි. කොහොම වුණත් විශේෂයෙන් දියවැඩියාවෙන් පෙළෙන අය තම ඇස් ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් ඔබගේ අක්ෂි රෝගියා හමුවී අඩු තරමේ මාස 6කට වතාවක්වත් ඇස් පරීක්ෂා කරගත යුතුයි. ඇයි එහෙම විමසිල්ලක් ඕන වෙන්නේ කියලා ඔබ සමහර විට හිතාවි. එය කොයි තරම් බරපතළ කාරණාවක් දැයි මේ ලිපිය කියෙව්වොත් ඔබට තේරේවි.
දියවැඩියාව නැති අයට වඩා දියවැඩියාව ඇති අයගේ ඇසට සිදුවන හානිය වැඩියි. පාලනය නොකළ දියවැඩියා රෝගය නිසා බොහෝ දෙනාගේ වකුගඩුවලට සහ ඇස්වලට සිදුවන හානිය නැවත ගොඩගත නොහැකි රෝගාබාධ ඇති කරයි.
රුධිරයේ සීනි නිසි ලෙස පාලනය නොවුණහොත් ඇස් අභ්‍යන්තරයේ දෘෂ්ටි විතානයේ සියුම් රුධිර වාහිනීවලට හානි සිදුවේ. මෙය Diabetic retino pathy ලෙසට හැඳින්වේ. එසේම රෝගය නිසි ලෙස පාලනය නොවුණහොත් “ග්ලූකෝමා” වැනි තත්ත්වයන්ද ඇති විය හැකිය. මේ නිසාම දියවැඩියා රෝගියා මාස 6කට වතාවක් ඇස් පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. එවිට ඇසේ අභ්‍යන්තරයේ ඇති විය හැකි හානි බොහෝදුරට වළක්වා ගත හැකියි.
ඉහත සඳහන් කළ Diabetie retino pathy තත්ත්වය නිසා දෘෂ්ටි විතානය ආශි‍්‍රතව හානි සිදුවන්නට පටන් ගනී. මෙය දියවැඩියා රෝගීන් දෙදෙනකුගෙන් එක් අයකුට තියෙන්නට පුළුවන. ඉන් බහුලවම දක්නට ඇත්තේ NON Proliferative Diabetic retino pathy තත්ත්වයය. මෙම රෝගීන් කාලයක පටන් රුධිරයේ සීනි මට්ටම පාලනය නොවූ අයයි. මේ අය අතර දරුණු අක්ෂි රෝගයන්ද හටගන්නා බව හෙළි වී තිබේ. එනම් Proliferative Diabetic retino pathy තත්ත්වයන්ය. එයින් වනුයේ දෘෂ්ටි විතානයේ තිබෙන රුධිරවාහනීවලට අමතරව තවත් රුධිරවාහිනී වර්ධනය වීමය. ඒවා ඉතා සියුම්ය. පහසුවෙන්ම හානි විය හැකිය. ඒ නිසා එසේ හානි වූ තත්ත්වයකදී ඇස අභ්‍යන්තරයට රුධිරය හා සියුම් ශ්රාවයක් වහනය වන්නටද ඉඩකඩ වැඩිය. එය කාලයක් පුරාම සිදුවිය හැකි තත්ත්වයකි. මෙහි ප්‍රතිඵලය වන්නේ අන්ධභාවයට පත්වීමය.
දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළහොත් ඇසේ දෘෂ්ටි විතානයේ පිහිටා ඇති පීතදේහය (Macula) නම් කොටසේද වෙනස්කම් සිදුවනු ඇත. එය ඉදිමීම් තත්ත්වයකි. එය මධ්‍යම දෘෂ්ටියට බාධා කරයි. මෙයින් සිදුවනුයේ රෝගියාට පොත්පත් කියැවීම, සියුම් වූ දේ නිරීක්ෂණය කිරීම, රිය පැදවීම අපහසු වනු ඇත. මුල් කාලයේදීම දියවැඩියාවෙන් පෙළී සිටින්නන් නිසිලෙස සායනයන්ට සහභාගි වී ඇස් පරීක්ෂා කරගත්තේ නම් මෙම තත්ත්වයන් හඳුනා ගන්නට හැකි වන්නේය. මුල් කාලයේදීම හඳුනාගත්තේ නම් දෘෂ්ටි විතානයට සිදුවන අහිතකර බලපෑම් වළක්වා යථා තත්ත්වයට පත්කර ගැනීමට බොහෝ අවස්ථා ඇති වන්නේය.
දියවැඩියාව නැති කෙනකුට වඩා ඇති කෙනකුට ඇසේ සුද මතුවීමේ අවස්ථාව වැඩිය. ඉන් ඇසේ කාචයටද බලපෑම් සිදුවන්නේය. පෙනීමට බාධා ඇති කරන්නේය. මේ නිසා ඇස් දෙක රැක ගන්න නම් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමත්, රුධිර පීඩනය මෙන්ම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමත් ඉතාමත් වැදගත් වේ.
එබැවින් ඔබට ළඟම රජයේ රෝහලේ අක්ෂි වෛද්‍යවරයා ළඟට හෝ ඔබගේ පවුලේ අක්ෂි වෛද්‍යවරයා ළඟට ගිහින් දියවැඩියාව ඇත්නම් වහාම ඇස් පරීක්ෂා කර ගන්න.
( මව්බිම )