අපිට ජීවිතයේ අත්විඳින්න වෙන දේවල් කාටවත්ම හිතාගන්න බැහැ.
හොල්මන් ගැන කතා කළොත් බොහෝ දෙනෙක් කියාවි '' නෑ ඒක බොරුවක් ඒක එහෙම වෙන්නේ නෑ '' කියලා.තවත් සමහරු කියයි '' නෑ හොල්මන් ඇත්ත.එහෙම දේවල් තියෙනවා.මමත් අත්විඳලා තියෙනවා '' කියලා.මේ කියන්න යන කතාව ඔබට විශ්වාස කිරීමේ හැකියාව තිබෙනවා වගේම අවිශ්වාස කරන්නත් අවස්ථාව තිබෙනවා.
මේ කියන්න යන කතාව මගේ මිතුරෙකුට සිදුවුණ සිදුවීමක්.අපි රත්නපුර ගොඩකවෙල නාඹුලුව ගමේ ජීවත් වෙන්නේ. ඒ දවස් ටික අලුත් අවුරුදු සමය.හැම තැනම අවුරුදු පාටි එහෙමත් නැත්නම් බූරූ පොලවල්.මගේ මිතුරා නුවන්.ඔහු ඔහුගේ මිතුරෙක් වෙන චමින්දගේ නිවසේ පාටියකට සහභාගී වෙලා.දඩ මස් එක්ක, බිත්තර ඔම්ලට් මේ හැම රසමසවුළුවක් එක්කම ඇති පදමට මත්පැන්.ඒවයින් හොඳටම මත්වුණ නුවන් අවසානයේ තීරණය කරනවා රං බණ්ඩා මාමලාගේ ගෙදර තියෙන බූරූ පොලට ගිහින් රවුමක් සෙල්ලම් කරන්න.ඔහොම හිතාගෙන තනියම නාඹුලුවේ උඩහට යද්දී පුංචි කඳු ගැටයක් හමුවෙනවා රං බණ්ඩා මාමලගේ ගෙදරට යන්න.මග දුරක් යද්දී ලාඩප්පා වැටක් අස්සෙන් අතක් ඇවිදින් නුවන්ගේ අත අල්ලගෙන.මුලදී කවුරු හරි විහිලුවක් කරනවා ඇති කියලා හිතපු නුවන් අතෑරපන් කියලා සුරාමතින්ම කියලා...ඒත් එන්න එන්නම ඒ අතින් නුවන්ගේ අත අඹරන්නට පටන් අරන්.වේදනාවයි කාගේ හරි විහිලුවක් කියලා හිතපු නුවන් කුණුහරුපෙන් බැන වදින්න පටන් අරන්.ඒත් නොනවත්වාම සුදු අත් මේස් දාපු අතින් ඔහුගේ අත අඹරන එක නැවතින්නේ නැහැ.දාඩියත් එක්ක බයත් මිශ්ර වුණ ඒ හැඟීමෙන් කුණුහරුප වරුෂා කිය කියා පොහු කෙසේ හෝ අත ගලවාගෙන රං බණ්ඩා මාමලාගේ ගෙදරට දුවද්දී කවුරුත් එහෙත් නැතිලු.ආපහු හිතේ හයියෙන් ගෙදර යන්න එද්දී සුරංග අයියා හමුවෙලා විස්තරේ කියලා.නුවන්ගේ කතාව අහපු සුරංග අයියා විස්තරේ තේරුම් අරන් නුවන්ව ගෙදරට දාන්න ගිහින්.ඒ යද්දි නුවන් සිහිවිකල්ලෙන් කියව කියව යන්න හදන්නේම සොහොන් පිට්ටනියටලු.ඊට පස්සෙ නුවන්ගේ අයියලා දෙන්නත් ඇවිත් අමාරුවෙන් ගෙදරට එක්කගෙන ගියත් හැඩිදැඩි සුරංග අයියත් නුවන්ගේ අයියලා දෙන්නත් වාර කිහිපයක්ම පොලොවේ ගැහුවා කියලයි ආරංචි වුණේ.අවසානයට මහ රෑම නුවන් එක්කගෙන ආවේ අපේ ආතලාගෙ ගෙදරට.ඉතින් පුංචි ආතා එක මැතුරමකින් සිහියට ගෙනාවත් ඔහුගේ අඹරපු අත නම් ඒ විදිහටමයි තිබිලා තියෙන්නේ.ඉතින් ආතා කියලා හෙට හවස 2 වෙද්දි එක්කගෙන එන්න කියලා.ඊට පස්සෙ මැතිරුවාට පස්සේ නම් අතත් හරි ගිහින්.ඉතින් මේක හිතලුවක් කියලා කාට හරි හිතෙන්න පුලුවන්.හැබැයි මේ සිදුවීම ඇත්තක්.