අකල් මරණවලට ගොදුරු වන පුද්ගලයන්ගේ මතකය යළි අලුත් කරන පුනරුත්පත්ති කතා ශ්‍රී ලාංකිකයන්ට නම් අමුත්තක් නොවන්නේ එවැනි කතා අතීතයේ සිටම මෙරට ජනතාව අතර කතාබහට ලක්වී ඇති බැවිනි.
සිංහල සිනමාවේ පුරා වෘත්තයක් බඳු රුක්මණී දේවි 70 දශකයේ අගභාගයේදී රිය අනතුරකින් මිය යෑමෙන් වසර ගණනාවකට පසු ඇගේ ආත්මය ගැන කතා කළ සියඹලාණ්ඩුවේ මහ කළුගොඩැල්ලේ විශාකා නන්දිකා දැරියගේ කතාව එවකට මෙරට ජන සමාජයේ දැඩි කතාබහට ලක්වූවකි.
කාලයෙන් කාලයට අසන්නට ලැබෙන එවැනි පෙර ආත්ම කතා අතර, වැඩිපුරම අවධානය ලක් වන්නේ ජනප්‍රිය පුද්ගලයන්ගේ පෙර ආත්මයේ කතා ය. අකල් මරණයට ගොදුරු වූ සාමාන්‍ය පුද්ගලයකුගේ ආත්ම කතාවලට වැඩි අවධානයක් යොමු නොවූවත් ඒවායින් ද අඩුවක් නැත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද කුඩා වියේදි පෙර ආත්මයක් ගැන කතා කළ බව ඇය විසින්ම පසුගියදා මාධ්‍යයට තොරතුරු හෙළි කර තිබිණි. පියා විසින් ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කර ඇත්තේ ද එම ආත්ම කතාව අමතක කරවන්නට බවත් සඳහන් වේ.
විලියම් සහ හැරී කුමරුන් ඩයනා සමඟවිලියම් සහ හැරී කුමරුන් ඩයනා සමඟ වරින්වර ඇතිවී නැතිවී යන පෙර ආත්මයේ කතාවක් පසුගියදා යළි කතාබහට ලක් විය. මෙවර එය වාර්තා වූයේ ශ්‍රී ලංකාවෙන් නොව ඔස්ට්‍රේලියාවෙනි. ඇඩිලේඩ් නුවර පදිංචි කුඩා පිරිමි දරුවකු තමා එංගලන්තයේ ඩයනා කුමරියගේ ආත්මය බව කියමින් ඇගේ ජීවිතයේ නොයෙකුත් සිදුවීම් හා මතකයන් යළි අවදි කිරීමේ පුවත පසුගියදා දෙස් විදෙස් මාධ්‍ය අතර පැතිරී ගියේය. මේ දරුවා බිලී කැම්බල් ය.
ඔහු ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය නළුවකු සහ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන ඩේවිඩ් කැම්බල්ගේ පුත්‍රයෙකි. මේ වන විට අට හැවිරිදි වියෙහි පසුවන බිලී එංගලන්තයේ ඩයනා කුමරියගේ ආත්මය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ අද ඊයෙක නොව තුන්හැවිරිදි වියේ සිටියදීය. පැරිස් නුවරදී මාරක රිය අනතුරකින් ඩයනා කුමරිය මිය ගොස් වසර 18කට පසු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී උපන් මේ කොලුගැටයා ඩයනා කුමරියගේ ආත්මය ගැන අරුම පුදුම කතා කියන බව බිලීගේ පියා ඩේවිඩ් මාධ්‍යයට ප්‍රකාශ කළේ 2019 වසරේදීය.
එවකට එය එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි කතාබහට ද ලක්වී තිබිණි. පසුගියදා එය නැවත අලුත් වූයේ ඩයනා කුමරියගේ 27 වැනි මරණ සංවත්සරය අගෝස්තු 31 වැනිදාට යෙදී තිබීම නිසාය. සංවත්සරයක් තිබුණත් නැතත් ඩයනා කුමරිය ගැන ලෝක ප්‍රජාව කවදත් කතා කරන්නේ ඇය තරම් පොදු ජනතාවට සමීප වූ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ තවත් රාජකීය කුමරියක් බ්‍රිතාන්‍යයේ තබා ලොව කිසිදු රටක නොසිටි බැවිනි. ඩයනා කුමරිය ගැන ශ්‍රී ලාංකිකයන් අතර ඇත්තේ ද ඊට නොදෙවැනි අන්දමේ අවධානයකි. කිසි දිනෙක ඇය ජීවමානව නොදුටු ඈත පිටිසර ගැමි ජනතාව පවා ඩයනා කුමරිය ගැන දැන ගැනීමටත්, ඇය ගැන සිහිපත් කිරිමටත් දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. එබැවින් ඩයනාගේ ආත්මය ගැන ඔස්ට්‍රේලියාවේ කොලු ගැටයා කියන කතාවට ශ්‍රී ලාංකිකයන්ගේ ද වැඩි අවධානයක් යොමු වී තිබේ.
කොලු ගැටයා කියන්නේ හරි අපූරු කතාවකි. ඒ කතාව ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාළිකාව පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පළමුවරට හෙළි කරනු ලැබුවේ ඔහුගේ පියා ඩේවිඩ් කැම්බල් විසිනි.
‘ඒක සිද්ධ වුණේ දවසක් මගේ බිරිය ලීසාට කවුරුහරි දීපු ඩයනා කුමරියගේ පින්තුරයක් නිසයි. බිලීට එතකොට අවුරුදු දෙකයි. ඩයනාගේ පින්තූරය දැක්ක ගමන් පුතා කියලා තියෙනවා මේ ඉන්නේ එයා කියලා.‘බිලීගේ කතාව ගැන ඔහුගේ මව එතරම් තැකීමක් නොකළ බවත්, පසුව එය යටපත්වී ගිය බවත් බිලී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
‘පුතා මේ මොනවද කියන්නේ කියලා අපිට හරියටම තේරුම් ගියේ තවත් මාස කිහිපයකට පස්සෙයි. එතකොට එයාට අවුරුදු 3ක් සම්පූර්ණ වෙලයි තිබුණේ. ඒ කාලයේ පුතා නිතරම කියන්න ගත්තා එයා ඩයනා කුමරිය කියලා. ඩයනාගේ පුතාලා දෙන්නා ගැනත් කියවන්න පටන් ගත්තා. අපිට මේක හරිම විකාර කතාවක් වුණා. ඊට ටික දවසකට පස්සේ ආයේ මේ කතාව අලුත් වුණේ ස්කොට්ලන්තයේ ඉන්න අපේ මිතුරන් කිහිපදෙනෙක් ගෙදරට ආපු වෙලාවේදියි. එයා මේ ස්කොට්ලන්ත ජාතිකයන්ට හරියටම කිව්වා බැල්මෝරල් මාලිගාව ගැන. ඒක තමයි ස්කොට්ලන්තයේ තියෙන බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති මාලිගාව.‘ ඩේවිඩ් කැම්බල් එසේ සඳහන් කර තිබිණි.
බැල්මෝරල් මාලිගාව බ්‍රිතාන්‍ය රජ පවුල ගිම්හානය ගත කරන තැන ය. රාජකීය පවුලේ පෞද්ගලික නවාතැන ගැන ඔස්ට්‍රේලියාවේ සිටින කුඩා දරුවකු කොහෙත්ම දැන සිටිය නොහැකිය.
‘මාලිගාවේ හැමතැනම කඟවේන්නුගේ චිත්‍ර ඇඳලා තිබුණා.‘ බිලී එසේ කියද්දී එය තහවුරු කළේ ඔවුන්ගේ ස්කොට්ලන්ත මිතුරන්ය. කඟවේනා යනු ස්කොට්ලන්තයේ ජාතික සත්වයා ය.
‘මම තමයි ඩයනා කුමරිය කියලා අවුරුදු ගාණක් තිස්සේ කියන නිසා අපි දවසක් එයාගෙන් ඩයනා කුමරිය ගැන තොරතුරු ඇහුවා. අපිට දැනගන්න ඕන වුණේ පුතා කොහොමද ඩයනා කුමරිය ගැන දන්නේ කියලා. මොකද මමයි මගේ බිරියයි ඩයනා කුමරිය ගැන කතාබහ කරලා නෑ. අනික පුතා ඉස්සරහා කොහෙත්ම එහෙම කතාවක් වෙලා නෑ. ඒ නිසා මම පුතාගෙන් ඇහුවා ඔයා ඩයනා කුමරිය නම් ඔයාගේ පවුලේ තව කවුද ඉන්නේ කියලා.‘
‘මට සහෝදර සහෝදරියෝ ඉන්නවා. මට ‘ජෝන්‘ කියලා සහෝදරයෙක් ඉන්නවා‘ පුතා උත්තර දුන්නා. කැම්බල් පවුල විමතියට පත්වූයේ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සෙවීමේදී ඩයනාට ‘ජෝන්‘ නමින් වැඩිමල් සොහොයුරකු සිටි බව සඳහන්වීම නිසාය. ජෝන් කුඩා වියේදිම එනම්, 1960දී මෙලොවින් සමුගෙන ඇත්තේ ඩයනා ඉපදීමට වසරකට පෙරය. බ්‍රිතාන්‍යයේ අටවැනි අර්ල්වරයා වූ එඩ්වර්ඩ් ජෝන් ස්පෙන්සර්ගේ පවුලේ තුන්වැනි දරුවා ලෙස උපන් ජෝන් මෙලොවින් සමුගෙන ඇත්තේ උපත ලබා පැය 10ක් වැනි කෙටි කාලයකදීය. ඩයනා කුමරිය පවුලේ සිවුවැනි දරුවාය. බිලී කියන මේ විස්මයජනක තොරතුරු ගැන මාපියන්ගේ කුතුහලය සහ අවධානය වැඩි වී ඇත්තේ ඉන්පසුවය.
අනතුරුව බිරිය ඩයනාගේ තවත් ඡායාරූපයක් බිලීට පෙන්වා ඇති අතර, ඔහු කියා ඇත්තේ ‘ඒ මම රාජ කුමාරිකාවක් විදිහට හිටපු කාලේ.‘බිලී සිය නිවුන් සොහොයුරිය බෙටී සමඟබිලී සිය නිවුන් සොහොයුරිය බෙටී සමඟ ඩයනා කුමරිය ගැන පමණක් නොව බිලී ඇගේ පුතුන් දෙදෙනා ගැනත් නිතර නිතර කතා කළේය.
‘බිලී එයාලට කියන්නේ ‘මගේ කොල්ලෝ ‘ කියලයි. අවුරුදු තුනක කොලු ගැටයෙක් එසේ ආමන්ත්‍රණය කරන්නේ ඒ වනවිටත් මැදිවියට එළැඹෙමින් සිටි විලියම් හා හැරී කුමරුවන්ට ය.
එවකට ඩයනා නිතර නිතර කීවේ විලියම් සහ හැරී කුමරු තම ඇස් දෙක බව ය. ඇය ඔවුන් ආමන්ත්‍රණය කළේ ‘ මගේ කොල්ලෝ‘ කියා ය.
‘අම්මා අපිත් එක්ක හැසිරුණේ හරියට පුංචි ළමයෙක් වගෙයි. එයා ඒ කාලේ ගොඩාක් දඟ වැඩ කළා‘ හැරී කුමරු ඩයනාගේ මරණ සංවත්සරයකදී එසේ කියා තිබිණි. ‘අම්මාගේ එක ආදර්ශ පාඨයක් වුණේ ‘පුළුවන් තරම් දඟ වැඩ කරන්න. හැබැයි අහුවෙන්න කරන්න එපා‘ කියන එකයි.‘ ඒ ඩයනාගේ හැටි ය.
චාල්ස් සමඟ විවාහ වීමෙන් රජ පවුලේ සාමාජිකාවක බවට පත්වූවද, ඩයනා නිතරම සිටියේ ජනතාව අතරේ ය. ඇරත් රජ පවුලේ සාම්ප්‍රදායිකත්වය ඇයට රිස්සුවේ නැත. ඇය ඒවා ගැන කිසිදු තැකීමක් කළේ ද නැත. එවකට බ්‍රිතාන්‍ය රජ පවුලේ සාම්ප්‍රදායික සිරිත් විරිත් රැසක්ම පළමුවරට බිඳ දැමුවේ ඇය විසිනි. ඇය වතාවක් විලියම් කුමරුගේ පාසලේ පැවති ‘මව්වරුන්ගේ දින‘ උත්සවයකදී මව්වරුන්ගේ ධාවන තරගයට ද එක්වූවාය. ඊට පෙර රජ පවුලේ කිසිදු සාමාජිකාවක එසේ කර නොතිබිණි. සිය පුතු වෙනුවෙන් රජ පවුලේ සිරිත් විරිත් බිඳ දැමූ ඇය තරගය ද ජයගත්තාය.
ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක් බැල්මකින් වසඟයට ගත් එංගලන්තයේ රෝස කුසුම ලෙස කාගෙත් ආදරය දිනාගෙන සිටි ඩයනා කුමරිය මෙලොව හැර ගියේ 1997 ගිම්හානයේදීය. ඇය සමුගෙන ගොස් මේ වන විට අවුරුදු 27කි. කෙතරම් කාලයක් ගතවුවත් ඩයනාට ආදරය කළ ජනතාව ඇගේ ආදරණීය මතකය අදටත් හදවතේ ගුළි කරගෙන සිටීම පුදුමාකාරය. ජීවත්ව සිටි අවුරුදු 36ක කාලයේ ඇය ලැබූ අසීමිත ජනප්‍රියත්වය මිය ගොස් අවුරුදු 27ක කාලයේදී තව තවත් ඉහළ යෑමේ රහස කුමක්දැයි කිසිවකු දන්නේ නැත. සුප්‍රකට පොප් ගී තරුවලටත්, නම ගිය හොලිවුඩ් නළු නිළියන්ටත් පමණක් සීමා වී තිබූ අසීමිත ජනප්‍රියත්වය තමන් වෙත නතු කරගැනීමට ඩයනා එතරම් ලොකු දෙයක් වැය කළේ ද නැත.
චාල්ස් කුමරුගෙන් වෙන්වීමෙන් පසු ඊජිප්තු ජාතික ධන කුවේරයකු වූ ඩොඩී අල් ෆෙයිඩ් සමඟ ඇතිකරගත් පෙම් පලහිලව්ව බ්‍රිතාන්‍ය රජ පවුලේ උදහසට ලක්වූව ද ඩයනාට ආදරය කළ ලෝක වාසීන්ට එය අපූරු ප්‍රේම කතාවක් පමණක් වූ අතර, ඇගේ ජනප්‍රියත්වයට ඉන් කිසිදු බලපෑමක් වූයේ ද නැත. ඩයනාගේ ඉරණම විසඳුණු පැරිස් නුවර පොන්ට් ඇලෙක්සැන්ඩර් උමං මාර්ගයට මර්සඩීස් මෝටර් රථය අධික වේගයෙන් පිවිසෙද්දීත් පැපරාසි ඡායාරූප ශිල්පීහු යතුරු පැදි මඟින් ඔවුන් පසුපස ලුහුබඳිමින් සිටියහ.
පැමිණ වේගයෙන්ම උමං මාර්ගයේ 13 වැනි කණුවේ ගැටී මෝටර් රථය කුඩු පට්ටම් වෙද්දී ඊට ඉහළින් පිහිටි මහ මාර්ගයේ ගමන් කරමින් සිටි මිනිසුන්ට ඇසුණේ උමං මාර්ගයේ බෝම්බයක් පිපිරෙන ආකාරයේ බිහිසුණු ශබ්දයකි. ඇගේ පෙම්වතා ඩොඩී සහ රියැදුරු පෝල් හෙන්රි එතැනම මියගොස් සිටි අතර, ඔවුන්ගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ට්‍රෙවර් රීස් ජෝන්ස් දිවි රැක ගැනීමට සමත් විය. අගෝස්තු 31 වැනිදා අලුයම 1.10ට පමණ ගිලන් රථ සහ වෛද්‍යවරු අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විටත් ඩයනා ජීවතුන් අතර ය. කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කළ ඩයනා මෙලොව හැර ගියේ ඇය රැගත් ගිලන් රථය රෝහල කරා ගමන් කරමින් තිබියදීය. ඇයට අවසන් මොහොතේ ඇසෙන්නට ඇත්තේ ගිලන් රථයේ සයිරන් හඬ පමණි. ‘එක දවසක් සයිරන් නළා හඬක් ඇහුණා. එදායින් පස්සේ මම රජ කුමරියක් නෙවෙයි.‘ ඔස්ට්‍රේලියාවේ පුංචි බිලී සිය මාපියන්ට එසේ කීවේය.
මේ පුංචි කොලුගැටයා ඩයනාගේ පුනරුත්පත්තිය බවට කිසිවකු විශ්වාස කළ ද, නොකළද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් මනෝ වෛද්‍යවරයකු වන පීටර් විලියම්ගේ විශ්වාසය වී ඇත්තේ මිය ගිය ඩයනා කුමරිය සමඟ ආත්මීය බැඳීමක් මේ කොලුගැටයාට තිබෙන්නට හැකි බව ය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පර්යේෂණ කෘතියක් ද ලියා පළ කර ඇති මනෝ වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඩයනා කුමරියගේ අබිරහස් අනතුර තොරතුරු පවා කුඩා දරුවා සතුව තිබිය හැකි බවය.බිලී සිය පියා ඩේවිඩ් කැම්බල් සමඟබිලී සිය පියා ඩේවිඩ් කැම්බල් සමඟ‘මෙවැනි පුනරුත්පත්ති කතාවලදී සාමාන්‍යයෙන් එළියට එන්නේ කෙනකුගේ ජීවිතය අවසන් වෙද්දී අන්තිමට මොනවහරි ඉතුරු වීමක් තිබුණොත් විතරයි. ඩයනාගේ අනතුර ගැන සමහර දේවල් පැහැදිලිවම බිලීගේ මතකයේ තිබිය හැකියි.‘ වෛද්‍යවරයා ප්‍රකාශය කුතූහලය දනවනසුලු එකකි. ඔහු නොකියා කියන්නේ ඇතැම් විට ඩයනාගේ අනතුරට සැබෑ හේතුව පුංචි බිලීගේ මතකයේ තැන්පත්ව තිබෙන්නට හැකි බවය.
නමුත් ඔහු බිලීගේ මාපියන්ට අනතුරු අඟවා ඇත්තේ රාජකීය රහස් සොයා ගැනීමට අවශ්‍ය නම් එය ඉතා පරිස්සමින් කළ යුතු බවය.
‘ඒත් ඒක හිතන තරම් ලෙහෙසි නෑ. මොකද කෙනෙකු හදිසියේම ජීවිතය හැර යද්දී මනසේ ඇතිවන ව්‍යාකූලත්වය නිසා ඒ මොහොතේ සිදුවීම් පවා තිබෙන්නේ ව්‍යාකූල තත්ත්වයකයි. පෙර ආත්ම ගැන කතා කරන දරුවන්ගේ මනසේ තැන්පත් වෙන්නෙත් ඒ ව්‍යාකූල සිතිවිලි සමුදායයි. ඔවුන්ට එය කෙනෙකුට පැහැදිලිව තේරුම් කරදෙන්න අසීරුයි. බිලීගේ වයසේ පසුවන ඕනෑම දරුවකුගේ මනසේ ඒ හා සමාන අත්දැකීම් ඇති. ඒත් පෙර ආත්මයේ සිතිවිලි සඳහා වෙනත් කෙනෙකුගේ මනසේ ඇත්තේ සීමිත ඉඩකඩක් පමණයි.
අනික කාලයක් ගිහින් ඒ දරුවන් පාසල් අධ්‍යාපනයට හෝ ක්‍රීඩාවට හෝ වෙනත් දෙයකට සිත යොමු කරද්දී පෙර ආත්මයේ සිතිවිලිවලට මනසේ ඇති ඉඩකඩ තවදුරටත් සීමා වෙනවා. සමහර විට මුළුමනින්ම මතකයෙන් ඉවත් වෙන්නත් පුළුවනි. මොකද ඔහුගේ මනසට අලුතින් එකතුවෙන සිතිවිලි ප්‍රමාණය අසීමිතයි.‘ මනෝවෛද්‍යවරයාගේ අදහස වී ඇත්තේ කාලයත් සමඟ බිලීගේ මනසින් ඩයනා කුමරිය ගැන මතකය ඉවත් වී යනු ඇති බවය.
පුංචි බිලීගේ මතකයෙන් ඩයනා කුමරිය මැකී ගියද, ඇයට ආදරය කරන ලෝකවාසී ජනතාව නම් සෑම ගිම්හානයකදීම ඇය සිහිපත් කරනු ඇත. ඇගේ මතකයේ සැරිසරනු ඇත.
ෆවුස් මොහොමඩ්