කෙතරම් වෙහෙසකට පත්ව සිටියත් එක් තේ කෝප්පයකට අපේ මහන්සිය ක්ෂණයකින් නැති කරදැමීමේ සුවිශේෂී බලයක් ඇති බව අපි කවුරුත් ඉතා හොඳින් දනිමු.
අධිකව ශරීරය, මනස වෙහෙස වී ඇති මොහොතක නිරායාසයෙන්ම තේ කෝප්පයක අවශ්‍යතාවය සිතට නැගෙන්නේ අපට දැනුම් තේරුම් ඇති වයසේ සිටම තේ වල රස මෙන්ම එයින් ගෙන දෙන ප්‍රබෝධමත් බව අපේ මනස හඳුනන හෙයිනි.
ලෝකයේ තේ වර්ග ගණනාවක් භාවිතා වේ. එයිනුත් අප දිනපතා පානය සඳහා බොහෝ විට යොදාගන්නේ BOPF යන තේ කුඩු වර්ගයයි. මේවා ප්‍රමාණයෙන්, වර්ණයෙන් මෙන්ම ඇතැම් විට ප්‍රමිතියෙන් එකිනෙකින් වෙනස් වේ.
කෙසේ නමුත් මේ සෑම තේ වර්ගයක්ම ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයක් දරන අතර ඒවායේ, නිධන්ගත රෝග රැසකගෙන් සිරුර ආරක්ෂා කරන පොලිෆීනෝල් සහ කැටචින් වැනි වැදගත් සංයෝග ගණනාවක් අන්තර්ගත වේ.
මීට අමතරව බොහෝ තේ කොළ විටමින් සහ ඛනිජ ලවණ වලින් පිරී ඇති අතර අහිතකර ශාරීරික උෂ්ණත්වය නිවීමේ මෙන්ම ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීමේ විශේෂ හැකියාවක්ද ඒවා සතුය.
තේ කොළ වලින් සාදාගන්නා පානයන් හැරුණු විට අතීතයේ සිටම අපේ පැරැන්නන් බෙලිමල්, රණවරා ආදී මල් යොදා ගෙන ශරීරයට විවිධ ගුණ ගෙන දෙන පානයන් භාවිතා කර තිබේ. වර්තමානය වනවිට මේ කියන නිරන්තරයෙන් ඇසෙන තේ පානයන්ට අමතරව ගෙවත්තේම වැවෙන විවිධ මල් වලින් සාදාගන්නා තේ වර්ග පිළිබඳව හඳුනාගෙන ඇත.
ආහාර ජීර්ණ පද්ධතියේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අමතරව සමේ පැහැපත්භාවයට මෙන්ම නිරෝගීභාවයට මේ මල් තේ වර්ග විශාල වශයෙන් ඉවහල් වන බවට ආයුර්වේද වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.
මෙලෙස තේ පානයන් සඳහා භාවිතා කළ හැකි ගෙවත්තෙන්ම සොයා ගත හැකි මල් වර්ග ලෙස රෝස, නිල් කටරොළු, වද මල්, සූරියකාන්ත මල්, නිල් මහනෙල් සහ ඉද්ද හඳුනාගත හැකියි. මීට අමතරව විශිෂ්ට සෞඛ්‍යමය ගුණ ගෙන දෙන, නමුත් වැඩි දැනුවත්භාවයක් නොමැති මල් වර්ග කිහිපයක්ද ඇත.
එනම් බණ්ඩක්කා මල්, පිරිමි වට්ටක්කා මල් ආදියයි. මේවායේ ගුණ පිළිබඳව පවතින නොදැනුවත්කම නිසාම ප්‍රයෝජනයක් නොගෙන මේ මල් නිරන්තරයෙන් පිපී පරවී යයි.
පොදුවේ තේ ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍ය ගණනාවක් ඉතා සුලබව අපේ ගෙවත්තෙන්ම ලබා ගත හැකි වීම සැබැවින්ම භාග්‍යයකි. වර්තමානය වනවිට ඇති වී තිබෙන විවිධ රෝගාබාධ වලට දිව්‍ය ඖෂධ වන මෙම පානයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම විය යුත්තකි.
උපුටා ගැනීමක්