වෛද්‍ය මොහොමඩ් ෂාෆි ට අයත් බව කියන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබි සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
ලද තොරතුරක් මත අද (31) ගල්කිරියාගම පොලිසිය විසින් මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
අදාල නිවසේ කාමරයක ඇඳක් මතයි මළ සිරුර තිබී ඇත්තේ.
මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීර පදිංචි මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි එක්දරු පියෙක්.
මිය ගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ තිබෙනවා.
පසුව එම පුද්ගලයා මෙම නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවයි සිදුකළ මූලික පොලිස් විමර්ශණවලදී හෙළිව තිබෙන්නේ.
මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබූ ඇඳ ආසන්නයේ කුඩා මේසයක් මත තිබී ඖෂධවර්ග කිහිපයක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය පවසනවා.
මරණය සම්බන්ධයෙන් එම නිවස භාරව සිටින බව කියන පුද්ගලයකු ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය පියවර ගත්තා.
අදාල නිවස මාස හයකට පමණ පෙර මිල්දී ගත් එකක් බවත් එහි කඩ කාමර කිහිපයක් ඉදිකිරීමට සූදානම් බවද පැවසෙනවා.
සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් අපරාධ අංශ නිලධාරීන් සමග අනුරාධපුර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විමර්ශන ආරම්භ කළා.
අද (31) පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් විසින් මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවා.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.
ඒ අනුවයි අදාල සිරුර දඹුල්ල රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කළේ.