දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දහසක් දුක්විඳින මව්පියන් අතර, ඇයත් එක් මවක්..
නිරෝෂා දමයන්ති.. පසුගිය දවසක ඇයට අත්වුණු අවාසනාවන්ත ඉරණම නිසා බොහෝ දෙනෙක් ඇය ගැන කම්පා වුණා...
ඒත් මේ කියන්න යන්නේ ඒ සංවේදී කතාවේ තවත් පැතිකඩක් ගැනයි.. නිරෝෂාට දරුවන් හතරදෙනෙක් වුණා.. ආර්ථික දුශ්කරතා දහසක් මැද මේ පවුල රකින අභියෝගය ඇයත් කරට ගන්න ඇත්තේ අන්න ඒ නිසායි..
ඒ දෙන්නාගේ හීනය සැබෑ කළ වැඩිමහල් දියණිය මේ වන විට සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා.. ඉතින් මේ ගෙවෙන්නේ ඇයටත් තීරණාත්මක කාලයක්.. මවගේ නික්මයාමත් , ඇය ඉදිරියේ ඇති මේ අභියෝගයත් ඒ දියණිය සාර්ථකව ජයගනීද..?
කොළඹ සරසවියේ ඉගෙනුම ලබන වැඩිමල් දියණියගේ පළමු වසරේ අවසාන විභාගය අදට යෙදී ඇති අතර, මේ නිසා හදිසි රිය අනතුරකින් මියගිය අම්මාගේ අවසන් කටයුතු ඊයේ සවස සිදුකළ ශෝචනීය පුවතක් පොල්පිතිගම කෝරුවාව ගම්මානයෙන් අසන්නට ලැබෙනවා..
පොල්පිතිගම, කෝරුවාව, හේනේයාය ලිපිනයේ පදිංචිව සිටි සිව්දරු මවක වූ එච්.එච්. නිරෝෂා දමයන්ති 28දා රාත්‍රි ඇඟලුම් කම්හලක සේවය කර නිවෙසට එන අතරවාරයේදි ලොරියකට යට වී මියගිය අතර, ඇය සමඟ තවත් දෙදෙනෙකු මේ අනතුරින් තුවාල ලබා තිබුණා..
මේ පවුලේ වැඩිමල් දියණිය කොළඹ සරසවියේ ඉගෙනුම ලබයි.. දෙවැනි පුතු ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිතයි.. තෙවැනි දුව නව වැනි වියේයි... බාල පුතු හත් වැනි වියේයි.. ඔවුන් තවමත් ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබනවා...
සිය සැමියා පෙදරේරුවක්... ඔහු උපයන ආදායම පවුලක බර ගෙනියන්න කිසිසේත් ප්‍රමාණවත් නැහැ... ඒ නිසා ඔහුට හා පවුලට දිරියක් දෙන්න දමයන්ති අදිටන් ගත්තා..
ඇය ඇඟලුම් සේවයට ගියා.. ඇය වසර හතරක පමණ කාලයක් සේවය කළා... එලෙස 27දා රාත්‍රියේ සේවයේ යෙදි පසුදින 28දා උදේ සේවය නිම වී නිවෙසට පැමිණියේ සරසවි විභාගයට පෙනී සිටින දුවට කැවිලි සාදාගෙන විභාගය පැවැත්වෙන පෙර දිනයේ එනම් 29දා ආයතනයෙන් නිවාඩු ලබාගෙන කොළඹ දුව ඉන්න බෝඩිමට යාමටයි...
එහෙත් ඒ සියල්ලම බොඳව ගොසින්.. ඒ ඇය එන ගමනේදී නොහික්මුණු ලොරි රියැදුරකුගේ වරදින් ඇය වාහනයට යට වී නිවෙස ආසන්නයේම මිය ගියා... ඇයගේ මෘත දේහය අඩක් නිම වූ නිවෙසේ තැන්පත් කර තිබෙනවා..
අවසන් කටයුතු 30 වැනි දින කරන්න සුදානම්ව ඇතත්, දුවගේ විභාගය වෙනුවෙන් එය ඊයේ කරන්නට ගමේ වැඩිහිටියන් තීරණය කළා... කිසිවක් කර කියා ගත නොහැකි සොවින් වැළපෙන සැමියා ද ඊට එකඟ වී තිබුණා... දියණිය මෙදින විභාගයට පෙනී නොසිටියහොත් ඊළඟ වසරේ යළි ලිවිය යුතුයි...
එබැවින් ඒ අභියෝගයට මුහුණදීමට ඇය කොළොම්පුරයට යවන්නට මියගිය මවගේ අවසන් කටයුතු ඊයේ අතිවිශාල පිරිසකගේ සෝ සුසුම් මැද කෝරුවාව පොදු සුසාන භුමියේදි සිදු කෙරුණා..
දිනමිණ ඇසුරෙන්..