අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති බව නිව්යෝර්ක් පෝස්ට් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම සැකකරු පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙක් බවත්, බෙතෙල් පාර්ක් යනු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිය පැවැත්වූ ස්ථානයේ සිට සැතපුම් 40 ක් දකුණින් පිහිටි ගම්මානයක් බවත් එම පුවත් සේවය පවසනවා.
මෙම වෙඩික්කරු ඩොනල්ඩ් ට්‍රම්ප් රැඳී සිටි වේදිකාවට යාර 130කට වඩා ඈතින් පිහිටි නිෂ්පාදන කම්හලක වහලක් මත නැගී මොහු මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත්, රහස් ඔත්තු සේවයේ ස්නයිපර්වරුන් විසින් ඔහුවවෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව සිදුකළ සෝදිසියකදී AR වර්ගයේ රයිෆලයක් ඔහුගේ දේහය ආසන්නයේ තිබී සොයාගැනීමට සමත්ව තිබෙනවා.
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී වේදිකාව මත අදහස් දක්වමින් සිටි ජනපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, එයින් හිටපු ජනපතිවරයාගේ දකුණු කණට පමණක් සුළු තුවාල ඇති කරමින් ඔහුගේ දිවි බේරා ගැනීමට ආරක්ෂකයින් සමත් වුණා.
වහාම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක් වෙත ප්‍රථිකාර සඳහා ඇතුළත් කළ ඔහු අනතුරුව ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ.
තවද, මෙම වෙඩි තැබීමෙන් එම රැලියට සහභාගි වූ අයෙක් මියගොස් තවත් නරඹන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අමෙරිකානු රහස් ඔත්තු සේවය (FBI) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවා.
මෙලෙස ඔහු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට අදාල හේතුව මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ අදාළ ආරක්ෂක නිළධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් සපයා නොමැති බවයි.
එම මැතිවරණ රැළියට සහභාගි වී සිටි 'ග්‍රෙග්' නැමැති පුද්ගලයෙකු බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් එම අවස්ථාවේ සිදුවු දේ පිළිබඳ පැහැදිලි කර තිබුණා.
"වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා.. ඒ මොහොතේම මම ඒක ට්‍රම්ප්ගේ ආරක්ෂක නිලධාරීන්ට කීවා... ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ.. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා.."