සැකය නිසා සිදුවන විපත් අතිවිශාලය. බොහෝ පවුල් ආරවුල්වලට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ අනපේක්ෂිතව ඇති කරගන්නා සැකය බවට කිසිම සැකයක් නොමැත.
විශේෂයෙන් තරුණ සිත්වල ආදරය සම්බන්ධයෙන් ඇති වන සැකය කෙළවර වන්නේ සිතා ගැනීමට බැරි තරමේ වෛරයකින් නිසා ලැබෙන ප්‍රතිඵලය අතිභයානකය. පසුගියදා කළුතර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ ද තරුණයෙකුට සදහටම දිවි අහිමි කළ ‘සැකයේ’ තවත් එක් ශෝචනීය කතාවක සුලමුලය.
මේ කතාවේ ‘කතා නායකයා’ යන්තම් දැළි රැවුල වැවීගෙන එන වයසේ පසු වූ කොලු ගැටයෙකි. ඔහු නමින් වෙනුරය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති මෙම තරුණයා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අතර සුළු රැකියාවක නිරත වීමට ද කටයුතු කළේ නිකරුණේ කාලය ගෙවීමෙන් පළක් නොමැති නිසාය.
ඔහුගේ එකම අරමුණ වූයේ පොලිස් නිලධාරියකු ලෙස රැකියාව කිරීමය. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට කටයුතු කරන අතරම වස්කඩුව ප්‍රදේශයේ මුද්‍රණ ආයතනයක සුළු රැකියාවක නිරත වීමට ද ඔහු කටයුතු කළේය.
කළුතර, කිතුලාව ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බවට ඔහුට ආරංචි වූයේ ඔය අතරය. මිතුරන් මෙන්ම ඔහු ද ඇඟිලි ගනිමින් බලා සිටියේ සංගීත සංදර්ශනය නැරඹීම සඳහා යාමටය. එදින රැකියාවට ගිය මෙම තරුණයා ඔහු සමඟ එකට රැකියාවේ නිරත මිතුරන් දෙදෙනකු ද සමඟ සංගීත සංදර්ශනය නැරඹීමට පිටත් වූයේ රැකියාවේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසුවය.
මෙම සංගීත සංදර්ශනය පැවතුණේ කිතුලාව, ගමගොඩ, කුමුදු ක්‍රීඩාංගණයේදීය. මේ සඳහා ඔවුන් කිලෝමීටර් පහක් පමණ දුර ගමන් කළ යුතුය. එහෙත් ඒ සඳහා ඔවුන් කෙටි පාරවල් තෝරා ගැනීමට කටයුතු කළේ ඉක්මනින් එහි ළඟා වීම සඳහාය. වෙනුර රැකියාව කරන ආයතනයේම රැකියාව කරන තරුණියක් ද මෙම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ සිටියාය.
ඇය පැමිණ සිටියේ ද ඇගේ මිතුරියක් සමඟය. කිතුලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම තරුණිය විවාහකය. ඇය විවාහ වී සිටියේ බෝඹුවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟය. එම දෙපළ මව්පියන් බවට පත් වූයේ කුඩා දරුවෙකුගේ කිරි සුවඳ නිවෙස පුරා දෝරෙ ගලද්දීය. එහෙත් ඔවුන්ගේ කැදැල්ල සිනහවෙන් පිරී ගියේ කෙටි කාලයකට පමණය. නොහොඳ නෝක්කාඩු නොරිස්සුමෙන් ඇරඹුණු පවුල් ජීවිතය දෙදරා යන්නේ හිතා ගන්නටවත් බැරි ආකාරයටය.
මේ නිසා ඇගේ විවාහයට වැඩි ආයුෂයක් තිබුණේම නැත. ඉතා කෙටි කාලයකින් විවාහ දිවිය එපා වූ ඇය දරුවා ද සමඟ මහ ගෙදරට පැමිණියේ නැවත සැමියා දෙසවත් නොබලන අදිටනින් යුතුවය. බිරිය තමා අතහැර මව්පියන් ළඟට යාම පිළිබඳව සැමියා සිටියේ කනස්සල්ලෙන් යුතුවය. තවමත් මාස එකොළහක් වයසැති දරුවාගේ මුහුණ බැලීමටවත් ඉඩක් නොලැබීම ගැන ඔහුට තිබුණේ විශාල දුකකි. මේ අඹුසැමියන් දෙතැනක සිටියද නීතියෙන් වෙන්වීමට කටයුතු කර තිබුණේ නැත.
සැමියා එදින ගමගොඩ, කුමුදු ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ බිරිය එහි පැමිණෙන බවට තිබූ විශ්වාසය මත විය යුතුය. ඔහු පැමිණියේද තනිවම නොව මිතුරෙකු සමඟය. ක්‍රමයෙන් අඳුර ගලාගෙන එද්දී සංගීතය ද දසතින් පැතිරෙන මොහොතේ කුමුදු ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතුව පිරී යන්නට වූයේ සංගීතයට කැමැති පිරිස් එක පොදියට එකතු කරමිනි.
මෙම කතාවේ කතා නායකයා වන වෙනුරට එම කාන්තාව මුණගැසෙන්නේ මෙහිදීය. දන්නා හඳුනන කෙනෙකු හමු වූ විට කතා කිරීම කාගේත් සිරිතය. ඔහු, ඇය සමඟ කතාවට වැටුණේ එය එතරම් දුරදිග යන කාරණයක් වේ යැයි නොසිතමින් විය යුතුය. එහෙත් මෙම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි දහසක් නෙත් අතර ඇය දෙස ඇස ගසාගෙන සිටි උකුසු දෑසක් තිබෙන බව කිසිවකුත් දැන සිටින්නට නැත.
රාත්‍රි දොළහත් දොළහමාරත් පමණ වන විට සංගීතයේ රිද්මය තීව්‍ර වූ අතර රැඳී සිටි පිරිසේ නර්තනයේ රිද්මය ද පැවතියේ ඉහළ යමිනි. එකිනෙකා තමන්ටම වෙන් වූ සිහින ලෝකවල පාවෙද්දී බෝඹුවල පුද්ගලයාගේ දෑස ගිනියම් වූයේ ඔහුගේ බිරිය වෙන කෙනෙකු හා සතුටින් සිටිනු දැකීම නිසාය. ඔහුගේ සිතේ බුර බුරා ඇවිළී ගියේ කියා නිම කළ නොහැකි වෛරය මුසු කෝපයකි.
“එහෙනම් උඹට මේකා හින්දයි මාව එපා වුණේ නේද. හොඳයි, බලාගමු කුමාරිහාමි ඉස්සරහට මොකද වෙන්නේ කියලා” ඔහු හිත යටින් නොව සැබෑවටම එලෙස මිමිණුවද එම වදන් ඇසුණ කිසිවෙකුත් එහි නොසිටි බව සැබෑය. ඒ තරමටම ඔවුන් සංගීතයට වහ වැටී සිටියේ ලොවම අමතක කරමිනි.
“මොකක්ද යකෝ මගේ ගෑනිත් එක්ක තොට තියෙන කතාව. මම අද දෙකෙන් එකක් කරලා තමයි පස්ස බලන්නේ” යයි බෝඹුවල පුද්ගලයා කෑගැසුවේය.
ඔහු මෙතෙක් වෙලා සඟවාගෙන සිටි පිහිය වෙනුරගේ ගෙල හරහා ඇදී යාමට සැලසුවේ ක්ෂණයකිනි.
කිසිවක් කතා කර ගැනීමටවත් නොහැකිව ලේ විලක් මැද වෙනුර ඇද වැටෙද්දී ඔහුගේ මිතුරන් දෙදෙනා විසින් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළත් ඔහුට මෙලොව සිටීමට තවදුරටත් වාසනාව හිමිවී නොතිබිණි.
මෙම තොරතුර කළුතර දකුණ පොලිසියට ලැබෙන්නේ දුරකතන ඇමතුමක් මාර්ගයෙනි. කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරී 01 දුමින්ද රාජපක්ෂ යන නිලධාරින් වෙත මෙම තොරතුර දන්වා සිටින කළුතර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ඇතුළු නිලධාරීන් අපරාධය වූ ස්ථානයටත් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලටත් විමර්ශන කටයුතු සඳහා පිටත් වන්නේ කඩිනමිනි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ තාරපේළිය කංකානම්ගේ වෙනුර නිම්තෙර වනිගසේකර නමැති විසි හැවිරිදි තරුණයෙකු බව අනාවරණය වන්නේ මෙහිදීය. ඔහු දොඩංගොඩ, ජනඋදාන ගම්මානය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එක් වැඩිමහල් සහෝදරියක් පමණක් සිටින පවුලේ ඔහු එකම පිරිමි දරුවා ලෙස හැදිවැඩී ඇත්තේ කාගේත් ආදරය නොමඳව ලබමිනි.
වෙනුරගේ මව්පියන් සමාජයේ ඉහළ මට්ටමක රැකියාවල නියුතු අය වන අතර මෙම තරුණයා ද මව්පියන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් ජීවත් වූ අයෙකු බව අනාවරණය වී තිබේ. ඔහුගේ මිතුරන් පොලිසියට පවසා ඇත්තේ ඔහු එම තරුණිය සමඟ මීට පෙර කිසිම වැරදි ඇසුරක් පවත්වා නොමැති බවය.
කළුතර අධිකරණයට මෙම සිද්ධිය වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද එහි පැමිණ ස්ථානීය විමර්ශන සිදු කරන ලදි.
බෝඹුවල ප්‍රදේශයේ පදිංචි සැකකාර 29 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ මේ අනුවය. ඝාතනය සඳහා යොදාගත් පිහිය ද ඔහු විසින් පොලිසියට ලබා දී ඇති අතර එදින ඔහු ඇඳ සිටි ලේ තැවරුණු ඇඳුම් පොලිසිය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
එම පිහියේ සහ ඇඳුම්වල තැවරී ඇති රුධිරය මරණකරුගේ රුධිරය සමඟ සැසදේදැයි පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව පොලිසිය පැවැසීය.
කළුතර ශික්‍ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වෙනුරගේ ගෙල කැපීම නිසා රුධිරය පෙණහලුවලට ගමන් කිරීමෙන් මෙම මරණය සිදුවී ඇති බවය.
තරුණ ජීවිතයක් නිරපරාදේ විනාශ කළ සැකකාර පුද්ගලයාට අවසානයේ දී සිදුවූයේ මහඋළු ගෙදර කල්දේරම් බතේ රස බැලීමටය.
සිළුමිණ