ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ඊශ්‍රායල් රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් පමණි.
ඒ අනුව කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඒ සඳහා මැදිහත් විය නොහැකි අතර, එසේ රැකියා ලබාදීමට හැකි බව පවසා මුදල් අය කරන පුද්ගලයින් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.