'ජෝන් සීනා අපෙ පොඩි එකාගේ ඔලුවට ගහලා' මේ වචන මීට වසර කිහිපයකට පෙර මෙරට ගුවන් විදුලියේ, රූපවාහිනියේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ගීතයක පද පෙළකි.
ඇමෙරිකානු ජාතිකයෙකු වන ජෝන් සීනා රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම නළුවෙකු ලෙස ද මෙරට ජනතාව අතර ද ප්‍රකට ය.
ජෝන් සීනා ගැන නැවතත් කතාබහක් මෙරට ජනතාව අතර මතුවන්නේ ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටි ශ්‍රී ලාංකිකයෙකු ගැන මෙරට සමාජ මාධ්‍යයේ අවධානය යොමු වීමත් සමගය.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඩලස් හි පිහිටි පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටින ඔහු නමින් ප්‍රවේන්ද්‍ර සතාසිවම්ය.
"පොඩි කාලේ ඉදලම මම රෙස්ලින් වලට ආසයි. ඉස්සර කාලේ රෙස්ලින් ආවේ CD වල. මම ඒවා අරන් බලන්න පුරුදු වුණා. ඒ එක්කම රෙස්ලින් ක්‍රීඩකයින්ගේ ජායාරූප එකතු කරන්න පටන් ගත්තා.ට්‍රිපල් H, අන්ඩර්ටේකර් වගේ ක්‍රීඩකයින්ගේ කාලේ ඉදලා මම රෙස්ලින් බලාගෙන හිටියේ.ඒ කාලේ ඉදලම යාලුවෝ එක්ක රෙස්ලර්ස් ලගේ ෆොටෝ මාරු කරගෙන, CD හොයාගෙන ඒවා එකතු කරන් ආසාවෙන් හිටියේ මේ ක්‍රීඩාවට." ඔහු තමාගේ අතීතය ගැන කියමින් එලෙස තම මතකය අවදි කළේය.
"2020 වසරේ පැවතුනු ‘ Royal Rumble’ තරගාවලිය තමයි මම පළමුව රෙස්ලින් තරගවල සජීවීව නරඹන්න ගියේ.මගේ පළවෙනි එක්ස්පිරියන්ස් එක මේක. මට තරගය නරඹන්නන අවශ්‍ය ප්‍රවේශ පත්‍රය බුක් කරන එක ගැන ලොකු දැනුමක් තිබුනේ නැහැ.ඒ නිසා තරගය තිබෙන තැන ඉදලා මම නරඹන්නන් හිටිය තැන ටිකක් දුරින් වුන නිසා ඒකෙ රියල් එක්සිපිරියන්ස් එක ගන්න ලැබුනේ නැහැ මට." ඔහු පැවසුවේය.
කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රේක්ෂකයින්ට සහභාගී වීමට අවසර දුන් පළමු රෙස්ලින් තරගය නැරඹීමට ද තමන් ගිය බව ඔහු කියා සිටියේය. එම තරගය තමාගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ප්‍රවේන්ද්‍ර පවසනවා.
"ඒ තරගය නරඹන්න මම ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගත්තා. ඒ තරගය පැවැත්වෙන ස්ථානයට ආසන්නයේම තියෙන තැනක්.ඒ තරගය තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වුනේ. එදා මම ශ්‍රී ලංකාවේ ජාතික ධජය අරන් ගිහිල්ලා හිටියේ.රෙස්ලින් එකේ ප්‍රධාන නිලධාරීන් වන ස්ටෙෆනී සහ ට්‍රිපල් H ඇවිත් හිටියා ප්‍රේක්ෂකයින්ව මුණ ගැහෙන්න කියලා.මම එදා එයාලා එක්ක සෙල්ෆි ජායාරූ ගත්තා.ඊට පස්සේ තරගය තිබුණු තැන ඇතුලේ අපේ රටේ කොඩිය එක්ක ගත්ත ජායාරූප ෆේස්බුක් එකේ පළකළා.ඒක හැමෝම බලලා වයිරල් වෙන්න පටන් ගත්තා. එදා ඉදලා තවම යනවා රෙස්ලින් තරග නරඹන්න."රෙස්ලින් තරගයක් නරඹන්න ප්‍රවේශ පත්‍රයක් සඳහා වැය වන මුදල කොපමණදැයි ප්‍රවේන්ද්‍ර ගෙන් විමසු විට ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"WWE වල ඉවෙන්ට්ස් කිහිපයක් තියෙනවා. එයාලගේ හැම සතියකම පවත්වන තරගවාර දෙකක් තියෙනවා. Monday RAW Night සහ Friday Smack Down කියලා. මේකේ ටිකට් පටන් ගන්නේ ඩොලර් 50 ඉදලා උපරිම ඩොලර් 800 දක්වා ටිකට් මිල යනවා.WWE Live Event කියලා තියෙනවා. ඒවා සජීවීව පෙන්වන්නේ නැහැ. අපි මුදල් ගෙවල යන්න ඕන. ඒවා ඩොලර් 20 ඉදලා ටිකට් පටන් ගන්නේ.ඊට අමතරව Wrestling Mania, Royal Rumble, Summer Slams සහ Money In the Bank කියන මේන් ඉවෙන්ට් වල ටිකට් එකක් පටන් ගන්න අඩුම ගාන ඩොලර් 100ක් වෙනවා. ඒකෙ උපරිම ටිකට් එකක් ඩොලර් 15,000ක් වගේ වෙනවා."රෙස්ලින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමට ලැබෙන අවස්ථා මොන වාගේදැයි ඇසු පැනයට පිළිතුරු දෙමින් ප්‍රවේන්ද්‍ර කියා සිටියේ එවැනි අවස්ථාවක් ලබා ගන්න කල් තියා වේලාවන් වෙන් කොට ඒ සඳහා මුදල් ගෙවීමක් ද කළ යුතු බවයි.
"රෙස්ලින් ක්‍රීඩා කරන අය සහභාගී වෙන පබ්ලික් ඉවෙන්ට්ස් තියෙනවා. ඒ අවස්ථාවන් අපි බලාගෙන ඉන්නවා. ඒවා අපිට WWE එකෙන්ම නිවේදනය කරනවා."එතකොට ඒ ඉවෙන්ට් එක වෙනුවෙන් අපි මුදල් ගෙවලා ඇතුල් වෙනවා. අපේ ෆෝන්, කැමරා මොකුත් අරන් යන්න දෙන්නේ නැහැ.ඒ ඉවෙන්ට් එකේ ඉන්න ෆොටෝග්රෑෆර්ස්ලම තමයි ෆොටෝ අරන් අපිට ඒවා ඊමේල් කරන්නේ."ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනා සමග ගත් ඡායාරූපය ගැන නැගු පැනයට පිළිතුරු දෙමින් ප්‍රවේන්ද්‍ර කියා සිටියේ එදින තමන් ගේ සැලසුම වී තිබුනේ තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයෙකු වන ඩ්වේයින් ජොන්සන් හෙවත් 'රෝක්' මුණ ගැසීම බවයි.
"Comic Corn කියන ඉවෙන්ට් එකට මම කල් තියලා ඇපොයිමන්ට් එකක් අරන් හිටියේ ඒකට රෝක් එනවා කියලා තිබ්බ නිසා. නමුත් අන්තිම මොහොතේදී රෝක් ඒ ඉවෙන්ට් එකට ආවේ නැහැ. ඔහු ඒ වෙලාවේ වෙන නගරයක තිබ්බ ඉවෙන්ට් එකකට ගිහින් තිබ්බා.''
"ඒත් මම ගියපු ඉවෙන්ට් එකට ජෝන් සීනා ඇවිල්ලා හිටියා. ඒ නිසා මට අවස්ථාවක් ලැබුණා ඔහු එක්ක ෆොටෝ එකක් ගන්න.සමහර රෙස්ලින් ක්‍රීඩකයෝ ඉන්නවා රටවල් වල ජාතික ධජයන් එක්ක ෆොටෝ වලට පෙනී ඉන්න අකමැති. මට මේ වෙනකම් හම්බ වෙලා තියෙන්නේ එහෙම කියපු එක් ක්‍රීඩකයෙක් විතරයි."මම ජෝන් සීනා එක්ක ෆොටෝ එකකට පෙනී හිටියා. එයා ඉන්දියාව හොඳට දන්නවා. මොකද එයා එහෙ ඇවිල්ලා ඉදලා තියෙනවා.පස්සේ මම ඔහුට ඉංග්‍රීසීයෙන් කිව්වා 'මම ශ්‍රී ලංකාවේ. අපේ රටේ ජාතික ධජයත් එක්ක ෆොටෝ එකකට පෙනී ඉන්න පුලුවන්ද කියලා. ජෝන් සීනා එකට කැමති වුණා."