කොහොම වුණත් ඔහු ඇයට ගොඩක් ආදරේ කළ සැමියෙක්.. ඒ නිසාම වෙන්න ඇති ඇය විඳි දුක ඔහුට දරාගන්න බැරි වෙන්න ඇත්තේ.. ගෘහ සේවය සඳහා සවුදි රටට ගිය තම බිරියට එහිදී අමානුෂික වද හිංසාවලට ලක්ව නැවත මෙරටට පැමිණීමට සිදු වීම හේතුවෙන් සිත් තැවුලට පත් සිව් දරු පියකු සියදිවි හානි කරගත් ඛේදනීය පුවතක් වාර්තා වෙනවා.. ඒ දඹුල්ල ප්‍රදේශයෙන්.. දඹුල්ල වෑවලවැව අලකොළවැව ගම්මානයෙන් ඇසෙන මේ කතාවෙන් ජීවිතයෙන් සමුගෙන ඇත්තේ, බී.කේ.ජී. රංජිත් නමැති හතළිස් හතර හැවිරිදි අයෙක්..
පවුලේ පවතින අඟහිඟතා නිසාම පසුගිය වසරේ නොවම්බර් මාසයේ සවුදියේ ගෘහ සේවය සඳහා මියගිය අයගේ බිරිය වන ඒ.ජී. චිත්‍රා පුෂ්පකුමාරි ගෘහ සේවයට පිටත්ව ගොස් ඇත්තේ දඹුල්ල නගරයේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් මෙලෙස විදෙස් ගත වී තිබුණා.. ඇය ගියේ එක් නිවෙසක සේවය සඳහා වුවත්, එහිදී තමා තවත් නිවාස හතරක සේවය සඳහා යොදවමින් තමන්ගේ හාම්පුතා මුදල් උපයීමේ කටයුත්තක නිරතව සිටි බව ඇය සඳහන් කරනවා...
හාම්පුතා තමාට නිසි වැටුප ආහාර පවා නොදී වෙනත් නිවෙස්වල ගෘහ සේවය සඳහා යෙදවූ බව කියන ඇය නිවෙස් හිමියාගේ පුතකු නිරන්තරයෙන්ම තමාට ලිංගික වද හිංසා කළ බවද ඇය පැවසුවා.. ඉතා අමානුෂික ආකාරයෙන් තමාට පහරදීම් සිදු කළ බවද ඇය සඳහන් කරනවා...
තමාට සිදුවන ලිංගික හිංසන හා පහරදීම් ගැන හාම්පුතාගේ බිරියට පැවසීමෙන් අනතුරුව ඇයට සිදුව ඇත්තේ නිවසේ කාමරයක දින 15ක කාලයක් සිරකාරියක වන්නටයි... මේ කාලය අතරතුර තමාට කන්න බොන්නවත් නොදුන් බව කියන ඇය මේ කාල වකවානුවේ තමා වැසිකිළි පෝච්චියේ තිබුණු ජලය පානය කරමින් දිවි රැකගත් බවද චිත්‍රා පවසනවා..
තමාට වූ බරපතළ හිංසන පිළිබඳව සවුදි රටේම සිටි තම සහෝදරියට දැනුම් දුන් බවත්, ඇය මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙන්ම සවුදි තානාපති කාර්යාලයට හා සවුදි පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සවුදි පොලිසිය තමාව බේරාගත් බවත් පවසන ඇය නිදහස ලැබූ තමා මාස දෙකක වැටුප ගෙන සහෝදරියගේ මැදිහත්වීම මත මෙරටට පැමිණිය බවද පවසනවා..
කෙසේ වෙතත් තමාට වූ බරපතළ ලිංගික වද හිංසා පහරදීම් ආදිය තමා දරුවන්ට හා සහ සැමියාට රහසක් ලෙස තබාගෙන ඇති ඇය දඹුල්ල පොලිසියට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දඹුල්ල කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කරමින් තමන්ට සිදු වූ ශාරීරික වද හිංසාවලට දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇති අතර, මේ පිළිබඳව දඹුල්ලේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයට අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද ඊට ඔවුන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවද ඇය චෝදනා කළා..
පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් කිසිවකුත් තමාට එරටදී සිදු වූ දුක්ගැහැට වද හිංසා ගැන නොදැන සිටි බවද පැවසූ ඇය දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබා නිවෙසට යන අවස්ථාවේ තමාට වූ සිද්ධීන් පිළිබඳව සැමියා දැනුවත් කිරීමත් සමඟ ඔහු දැඩි සිත් වේදනාවට පත්වූ බවද ඇය පවසනවා..
තමන් විදේශගත කළ රැකියා නියෝජිත ආයතනයට ගොස් ඔහු සමග ගැටුම් ඇති කරගැනීම සඳහා උත්සාහ කළ අවස්ථාවේ තම සැමියාට ඇති ආදරය නිසා ගැටුමකට යෑම වැළකූ බව ඇය හැඬු කඳුළින් කියා සිටියා...
තමන්ට සිදු වූ මේ ලිංගික අතවර සහ දැඩි වද හිංසා පිළිබඳ සැමියාට ඇති වූ සිත් තැවුල නිසාම ඔහු සියදිවි හානි කරගත් බව ඇය පවසන්නේ.. සැමියා අකාලයේ මෙසේ මිය යෑම නිසා තමා දරුවන් සිව් දෙනාද සමඟ තනි වූ බව ඇය හැඬූ කඳුළින් පැවසුවා...
මේ කාන්තාවගේ සහෝදර සහෝදරියන් දිගින් දිගටම ඇය සේවය කළ සවුදි අරාබියේ නිවෙසේ හිමිකරු සමඟ සවුදි භාෂාවෙන් කතා කොට ඇති අතර, ඇයට සිදු වූ හිරිහැර ගැන පවා ඒ අය තොරතුරු සොයාගෙන සාක්ෂි සහිතව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා මාර්ගයක් නොගැනීම හේතුවෙන් තම සැමියාට මෙවැනි මරණයකට උරුම වූ බවට ඇය චෝදනා කරනවා...
සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා දඹුල්ල නගරයේ පිහිටා ඇති පෞද්ගලික විදේශ රැකියා ආයතනයට ලියුම්කරු යන අවස්ථාවේ ඔවුන් කාර්යාලය වසා දමා සැඟවී සිටින බව පෙනී ගියා.. කෙසේ වෙතත් ජංගම දුරකතනය මඟින් එහි හිමිකරු සම්බන්ධ කරගෙන මේ ගැන තොරතුරු විමසීමේදී කියා සිටියේ ඇය සම්බන්ධයෙන් තමා අවශ්‍ය සියලු පියවර ගෙන තිබුණු බවයි..
දඹුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකරණ සහකාර ජයමාලී සේනාරත්න මහත්මියගෙන් මේ චෝදනාව පිළිබඳ විමසීමේදී කියා සිටියේ පසුගිය වෙසක් සමයේ මේ පැමිණිල්ල ලැබී තිබුණු බවයි..
ඊට පෙර වැටුප් නොදීම පිළිබඳ කළ පැමිණිල්ලක් එම පවුලේ දියණියකගේ එකඟතාව මත ඉවත් කළ බවත්, කාන්තාව ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට උත්සාහ කරමින් අවශ්‍ය පරිසරය සූදානම් කළ බවද ඇය පවසනවා.. පසුගිය වෙසක් සමයේ පැවති නිවාඩු හේතුවෙන් ගෙන්වාගැනීම අපහසු වූ බවත්, කෙසේ වෙතත් නැවත නිවාඩු අවසන්ව කාර්යාල විවෘත කරන විට ඇය ලංකාවට ගෙන්වාගෙන තිබුණු බවත් ඇය සඳහන් කළා...
සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු ඉටු කර තිබෙන බවත් පැවසූ ඇය සිත් තැවුලෙන් මිය ගිය පුද්ගලයාගේ මරණය පිළිබඳ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යංශයට භාර ගැනීමට නොහැකි බවත්, තම කාර්යාංශයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළා..