Client කථාව පටන් ගත්තෙම එහෙම ,
සමහර මිනිස්සු අපිව හොයාගෙන එන්නෙ අපෙන් උපදෙස් ගන්නම නෙමෙයි ,කාටවත් කියාගන්න බැරුව හිතේ හිරවෙලා තියන පීඩනය නිදහසේ ලෙහල දාන්න .
මේකත් එහෙම කතාවක් ,
එයා මේ කථාව කිව්වෙම මේක ලියන්න කියල ,අනන්‍යතාවය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා එයා කියපු විදිහටම ඒ කථාව ඔයාට කියන්නම්
මම කාවිංග ,ඉන්නෙ කොරියාවෙ ,මට රංගි හම්බුනේ දැනට අවුරුදු අටකට කලින් ,අපි හුඟක් ආදරේ කළා ,
ආර්ථික ව ස්ථාවර වෙන්න ඕනෙ නිසාම මන් කොරියාවෙ ආවා .
එන්න කලින් බඳිමු කියල රංගි කිව්වට මට ඕනෙ උනෙ හැමදේම හරියට හදාගෙන පිළිවෙලක් වෙන්න ,
ඔය අතරෙ රංගිගේ ගෙවල් වලින් එයාට කසාද බඳින්න කියල වද කළා ,ඒ විතරක් නෙමෙයි ඈතින් නෑදෑයෝ වෙන මැණික් බිස්නස් කරන කොල්ලෙක්ව propose කරලත් තිබ්බා ,
රංගි උදේ හවස ඕක කිය කිය මට ලංකාවේ එන්න කියල වද දුන්නා .
ඒ වෙනකොට මහ ගේ බාගෙට හද හද තිබ්බේ ,මල්ලි කැම්පස් නිසා ඒ වියදම් බැලුවෙත් මම ,ඔය ඔක්කොම අස්සෙ මට කොරියාව දාල ලංකාවේ එන්න වුවමනාවක් තිබ්බෙ නැහැ ,රංගි ගැන ආදරයක් නොතිබුනා නෙමෙයි ,ඒ ආදරයට වඩා මට මගෙ ගමන යන්න වුවමනා වුනා කිව්වොත් හරි .
ඉවසල ඉවසල බැරිම තැන ,"ඔයා ගෙදරින් කියන කෙනාව බඳින්න කියල මන් එයාට කිව්වා "
ඒ වචන ටිකට හිත රිදිලා එයා හරියට අඬුවා ,
දුකටද තරහටද මන්දා අන්තිමට එයා ඒ කොල්ලව කසාද බඳින්න තීරණය කරලා තිබ්බා .
මුලින්ම කරදරයකින් නිදහස් වුනා වගේ හැඟීමක් දැනුනට එයා බැන්දා කිව්වම මම මාස ගානක් නොකා නොබී ඇඬුවා .
ඔහොම හරියටම අවුරුද්දක් විතර යනකොට අහම්බෙන් එයාගෙ යාලුවෙක් මට කථා කළා .
රංගි පව් කාවිංග ,අර මිනිහා එයාට දස වද දෙනවා ,ඒ අස්සේ එයා දැන් ප්‍රෙග්නන්ට් ,මේ ලඟදි ත් ඔළුව පැලෙන්න ගහල ඉස්පිරිතාලේ හිටියා කිව්වා .
ඒක ඇහුවම මට උන්හිටි තැන් අමතක උනා .
මන් හිත හදාගත්තේ එයා සතුටෙන් ඇති කියල ,ඒත් ඒක එහෙම නෙමෙයි කිව්වම මට දරාගන්න බැරි උනා .
ඒ යාලුවගෙන්ම නොම්මරේ ඉල්ලන් මන් රංගි ට කථා කළා ,අපේ සම්බන්ධෙ ආයෙ අළුත් උනා .
ළමයවත් එක්කම එයාව බාරගන්න හිතාගෙන මම හැමදේම ලැස්ති කළා .
හැබැයි ඒ වැඩ ටිකට මට තව ටිකක් කල් ඕනෙ උනා .
මන් මේවා සෙට්ල් කරගන්න කම් පොඩ්ඩක් ඉවසන්න කියල මම රංගිට කිව්වා .
එයත් පුළුවන් තරම් ඉවසුවා .
ඔයා එක සැරේකුත් ඉවසන්න ඉවසන්න කියල මගෙ ජීවිතේ විනාස කළා ,දැන් තවත් නම් මට ඉවසන්න කියන්න එපා කාවිංග ,මට දැන් මේ ජීවිතේ හරි මහන්සියි .
දවසක් හවසක එයා එහෙම voice මැසේජ් එකක් එවල තිබ්බා .
ඊට පස්සෙ දවසෙම එයාගෙන් සද්දයක් තිබ්බෙ නැහැ ,හවස බලද්දී එයා icu එකේ කියල එයාගෙ අක්කා කෙනෙක් කිව්වා ,අර මනුස්සයගෙ වද ඉවසගන්න බැරුව රංගි පෙති වගයක් බීලා .
මන් ඊට පහුවෙනිදා ලංකාවට ආවා ,හැබැයි මම එනකොට එයා ගිහින් තිබ්බා .
එයා මට එන්න කියපු දෙසරෙම මම ආවේ නැහැ ,හැබැයි මම එනකොට එයා නැහැ .
හැමදේම පිළිවෙලට හදාගෙන ජීවිත් වෙන්න පටන් ගන්න හිතපු මන් නිසා මන් වැඩියෙන්ම ආදරේ කරපු කෙනාගෙ මුළු ජීවිතේම නැත්තටම නැති වෙලා ගියා .මේකෙ සම්පුර්ණ වැරැද්ද මගෙ ,
අන්න ඒකයි මම මුලින්ම කිව්වෙ මේ ලෝකෙ කිසිම ගෑනියෙකුට මන් වගේ පිරිමියෙක් ව නම් හම්බෙන්න එපා කියල "
වචන වලට පෙරලගන්න නොතේරෙන පශ්චාත්තාපයකින් කාවිංග අන්තිමටත් එහෙම කිව්වා .
මනෝ උපදේශනයේදී කිසිම කථාවක හරි වැරද්දක් නැහැ ,ඒ හැමදේම සිද්ධි විතරයි කියල හිතල මැද තැනක ඉඳන් තමයි අපි මිනිස්සුන්ට උපදෙස් දෙන්නෙ ,
හැබැයි පිට ඉඳන් මේ කථාව අහපු ඔයාට මේ ටික නොකියම බැහැ
වැඩිහිටියෙක් උනාට ,කොන්ද කෙලින් තීරණයක් ගන්න පුළුවන් දවසක් එනකම් කාගෙවත් හදවතක් එක්ක බැඳීමක් ඇති කරගන්න එපා , මොකද බැඳීමක රැඳීම විතරක් නෙමෙයි සමහර විට ඒ ජීවියාගෙ ජීවිතේ තියෙන්නෙත් ඔයාගෙ අතේ වෙන්න පුළුවන් .
මිනිහෙක් උනාම ජීවිතේ මොනම දේ දි උනත් ,පස්සෙ අනේ පනේ ගාන්න හිතන්නෙ නැතුව අවශ්‍ය තැනදී අවශ්‍ය තිරණේ ගන්න ඕනෙ ,
එහෙම තීරණ නොගෙන ඒ ජීවිත අවුල් උනාම ඉතුරු වෙන පසුතැවීම ඔයා හිතන තරම් සුන්දර නැහැ.
"මිනිස්සු වැඩිපුරම දුක් වෙන්නෙ තමන් කරපු දේවල් ගැන හිතල නෙමෙයි ,තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දිත් තමන් නොකරපු දේවල් මතක් වෙලා " ඒකයි ඇත්ත
අනිශා ජයකොඩි