බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම එරට පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම කළමනාකරු ලෙස කලක පටන් කටයුතු කරන කාලිඩ් මහමුද් සුජාන් විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සමගයි.
එහිදී කාලීඩ් මහමුද් සුජාන් සඳහන් කර ඇත්තේ තමන් ඉදිරියේ බංගලාදේශ ජාතික කණ්ඩායම සමග කටයුතු නොකරන අතර කණ්ඩායමේ කිසිදු වගකීමක් දැරීමට අකමැති බව ය.
බංගලාදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි කාලිඩ් මහමුද් සුජාන් විසින් එම ප්‍රකාශය සිදුකිරීමට හේතුව වී ඇත්තේ වත්මන් බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ඇතිවී තිබෙන විරසකයකි.
2023 වසරේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේද කාලිඩ් මහමුද් සුජාන් ය.
ඉන්දියාවේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී පෙරදී මෙන් තමන්ගේ වගකීම ඉටු කිරීමට අපොහොසත් වූ බව ඔහු බංගලාදේශ මාධ්‍ය වෙත පවසා තිබේ.
'මම ලොකු පුහුණුකරුවෙක් නොවෙන්න පුළුවන්'
මීර්පුර් හිදී බංගලාදේශ මාධ්‍යවේදීන් සමග පැවති හමුවකදී කාලීඩ් මහමුද් සුජාන් පවසා සිටියේ තමන්ට පසුගිය ලෝක කුසලානයේ දී තමන්ට ලැබිය යුතු ආත්ම ගරුත්වය නොලැබුණු බව ය.
"පහුගිය ලෝක කුසලානයේදී මම කරපු දේවල් මගේ ක්‍රිකට් ජීවිතයට ගැලපෙන්නේ නැහැ කියලා මම හිතනවා."
"මම ලොකු පුහුණුකරුවෙක් නොවෙන්න පුළුවන්, ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පසුගිය ලෝක කුසලානයේදී මට ලැබෙන්න ඕන ආත්ම ගරුත්වය මට ලැබුණේ නැහැ. ඒ නිසා මට තවදුරටත් කණ්ඩායම සමඟ වැඩ කරන්න අවශ්‍ය නැහැ."
"මම හිතන්නේ නැහැ මම තවදුරටත් බංගලාදේශ ක්‍රිකට්වලට විසඳුම කියලා. එතන ලොකු විසඳුම් තියෙනවා. මට තවදුරටත් ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙන්න කිසිම උවමනාවක් නැහැ."
"විශාල වැටුප් ලබන ලොකු ලොකු පුහුණුකරුවන් එන නිසා ඒ අය අතරට නොයා ඉන්න එක තමයි මට හොඳ. මම දැන් අවුරුදු 28-29 තරුණයෙක් නෙවෙයි. මම දැන් මගේ ගෞරවය රැකගත යුතුයි."
"හතුරුසිංහ ලෝකයේ හොඳම පුහුණුකරු විය හැකියි, නමුත් මට ඒකෙන් වැඩක් නැහැ."
"මට බංගලාදේශයේ ලොකු ගෞරවයක් තියෙනවා, ක්‍රිකට් ක්‍රීඩකයන් මට ගොඩක් ගරු කරනවා. මට ඒ ගෞරවය නැති කරගන්න ඕන නෑ." මීර්පුර් හිදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා පැවසු බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
(බීබීසී සිංහල)