සූර්ය මංගල්‍යය කියන්නේ රජ මැදුරේ සිට දුගී පැල්පත දක්වා මිනිසුන් සමරන දවසක්..
එදිනට සිදුකරන චාරිත්‍ර වාරිත්‍රවලට ඉතා වටිනා අගනා ගරුත්වයක් මෙන් ම ගාම්භීරත්වයක් ලැබෙන්නේ නිරායාසයෙන්මයි..
මෙහිදී නව සඳ බැලීමේ සිට පරණ අවුරුද්දේ ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ලිප ගිනි මෙලවීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්වීම යන සියලු ක්‍රියාවන්ට නැකැත් ශාස්ත්‍රය මුල් වෙනවා..
වසරක් ගෙවී නව වසරක් උදා වන විට දී කාන්තා පක්ෂයට ඉතා කාර්ය බහුල වැඩකටයුතු රාශියකට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවනු ඇතියි..
එහිදී විශේෂයෙන් මුළුතැන්ගෙය තුළ විවිධ රස කැවිලි වර්ග මෙන්ම ආහාර පාන සකස් කිරීමට ගෘහණිය උත්සුක වනු ඇතියි... තම ස්වාමි භක්තිය, දරු සෙනෙහස, ආගන්තුක සත්කාර මෙන් ම පවුලේ සාමය සමඟිය උදෙසා මහා වෙහෙසක් දරන ඇය අපගේ ඉතා පැරැණි කෙම් පහන් ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ද අමතක මෙහිදී අමතක කරන්න හොඳ නැහැ..
විශේෂයෙන් ගෙවී යන පරණ අවුරුද්ද නිමාවීමට පෙර පරණ ලිපේ අළු සහ මුළුතැන්ගෙය තුළ අතු ගා එකතුවන කුණුරොඩු පරණ අවුරුද්දේ ප්‍රයෝජනයට ගත් පරණ කුල්ලට දමා අළු මුත්තා පිදීම, කුණු මුත්තා පිදීම, අළු බොක්කා පිදීම, අළු කුමාරයා පිදීම යනුවෙන් විවිධ පළාත්වලට ආවේණික අයුරින් ඉහත නමකින් යුතු ව ඈත පිටිසර ගෙවිලියන් විසින් තවමත් එම කෙම්පහන් ක්‍රමවේදයන් කරනු ලබනවා..
අලුත් අවුරුද්ද උදෙසා පිළියෙල කරන ලද සියලුම රස කැවිලි වර්ග සහ බත් මාළු මෙන්ම අළු කෙසෙල් ඇවරියක්, බුලත් විටක්, පැන් භාජනයක්, පරණ කාසියක්, කැවිලි වර්ග බැදගත් පසු ඉතිරි තෙල් වලින් පහනක් දැල්වීමට ද මෙයට අයත් වෙනවා... එම කුල්ලට පරණ ලිපේ අළු වඩා එයට උඩින් අළු කෙසෙල් කොළයක් කුල්ලට එලා ඉන්පසු ඉහත දැක්වෙන සියලු දේ පුදා ගෘහණිය විසින් තම ගෙවත්තේ වැට මායිමේ පාළු තැනක අළු මුත්තා වෙනුවෙන් පරණ අවුරුද්ද ගෙවී යන යාමයේ ගෙවිලිය විසින් අමුත්තා පුදනු ලැබෙනවා..
මෙහිදී ඉහත නාමයන්ගෙන් සැදුම්ලත් අදෘශ්‍යමාන පැරණි ගැමි විශ්වාසයන් පෙරදැරි කරගෙන ලබන්නා වූ නව වසර තුළත් අඟහිඟකම් වලින් තොර සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් ප්‍රාර්ථනා කිරීමේ අරමුණක් මෙන්ම ගෙවීයන වසර තුළ බාධාවකින් තොරව උයා පිහා ගැනීමට උදව් උපකාර වුණු ලිපට ගරු කිරීමක් හෝ කළගුණ සැලකීමේ කෙම් පහන් ක්‍රමවේදයන් ද එහි වෙනවා..
ඇතැම් ප්‍රදේශවල තම තමන් ගේ මළගිය ඥාතීන් සිහිපත් කර ඉහත සියල්ල අලුත් වට්ටියකට පුදා වත්තෙන් පිටත තුන්මංසල තුළ ද තබනු ඇතියි.. එසේම හිස තෙල් ගානු ලබන දවසේ ද මෙවැනි පුද සත්කාර ක්‍රම වේදයන් ප්‍රකට ව හෝ අප්‍රකට ව ගෙවිලිය විසින් කරනු ලැබෙනවා..