ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී කිතුල්ගල ප්‍රදේශයේදී මවකගේ ඇකයෙන් ගිළිහී ගොස් මහ මඟට වැටුණු මසක් වයසැති බිළිඳා සුවෙන් පසුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා.
බිළිඳා එම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් බිළිඳාගේ මවට නඩු පැවරීමට කටයුතු කරන බවයි රෝහල් පොලිසිය කියා සිටියේ.
මෙම බිළිදාගේ පවුලේ සාමාජිකයන් පසුගිය 28 වනදා මීගමුව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථ දෙකකින් කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක ගොස් ආපසු එමින් සිටියදී කිතුල්ගල - ගුරුමැටිය ප්‍රදේශයේදී මවගේ ඇකයේ සිටි මසක් වයසැති කුගනේෂ්වන් නවීෂන් නමැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබුණා. එහෙත් ඒ පිළිබඳව තද නින්දේ පසු වූ බිළිඳාගේ මවට දැනී තිබුණේ නැහැ.
මේ අතර එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයට පිටුපසින් මෝටර් රථයක් පැමිණ තිබූ අතර එහි රියදුරා මාර්ගයේ වැටී තිබූ රෙදි කැබැල්ලක් දැක රථය මැදිකොට ධාවනය කර තිබුණා.
කෙසේ වෙතත් පසුව ඔහු නැවත පැමිණ එම ස්ථානය පරික්ෂා කර තිබුණා.
එහිදී ඔහුට දැක ගැනීමට හැකිවී ඇත්තේ කුඩා බිලිදෙකු මාර්ගයේ වැටී සිටින ආකාරයයි. පසුව රියදුරා කිතුල්ගල පොලිසියේ ජංගම මුරසේවයේ නිරත නිලධාරීන්ට බිළිඳා භාර දී තිබුණා.
කෙසේ වෙතත් තම ඇකයේ බිළිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ ඔවුන් බිළිඳා වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 3ක් පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ මවගෙන්ද රෝහල් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත් අතර අනතුරක් වළක්වා නොගැනීම මත ඇයට නඩු පැවරීමට කටයුතු කරන බව රෝහල් පොලිසිය ප්‍රකාශ කළා.