අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද කතරගම දෙවියන් ජීව මානව භාවනා කරන ස්‌ථානයක් බවට මෙම ස්‌ථානය හැඳීන් වූ සේක....
මෙම භූමියේ දී නිතර අවැඩත් කරන අයට දඩුවම් දීමට නිතරම ජීවමානව පෙනි සිටින්නේ අලි ඇතුන්ය. මෙයට අමතරව වළසා, ඌරා, නාගයා විටින් විට පැමිණෙයි.....
දෙවියන් අදහන බැතිමතුන් අතරින් දේශපාලනඥයන් ධනපතියන් ලොකු මුදලක් වැයකර වන්දනාවේ යන එක් ස්‌ථානයක් වන්නේ ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිලයි. මේ හා සමානව අපේ රටේ සල්ලි ඇති පුද්ගලයින් හා දේශපාලනඥයන් බුරුතු පිටින් දෙවියන් වැඳීමට යන ස්‌ථානයක් වන්නේ කැබිලිත්ත දේවාලය හෙවත් සියඹලා දේවාලයයි.
මේ කැබිලිත්ත දේවාලය හා සම්බන්ධ තවත් හාස්කමක කතාවකි....
වාහන කිහිපයකින් පැමිණි මේ ඇමතිවරයාගේ ආරක්‍ෂක නිලධාරින් සහ ඔහුගේ අතවැසියන් යැයි සිතිය හැකි පිරිස හැසුරුනේ නගරයේ දී හැසිරෙන ආකාරයටමය. මහ වනාන්තරය මැද කිලෝමීටර් තිහකට වැඩි දුරක් ගිය පසු හමුවන මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ගොඩවිය යුත්තේ කුඹුක්කන් ඔය එගොඩ වීමෙනි. එසේ එගොඩ වන්නට පාලම් නැත. ගගට බැස එගොඩ විය යුතුය.
කොටියාගල සිට යා යුතු මග ද පහසු නැත. පුංචි වැස්සක දී වුවත් පාර මඩවෙයි. එවැනි අවස්ථාවල මඩවළවල් මගහැර ඒ අසලින් තවත් පාරක් තැනෙයි.
මීට පෙර පැවසූ ඇමති තනතුර දරන්නා පසුගිය කාලයේ සිය ගෝලබාලයන් ලවා කතරගම දේව අඩවියේ කතරගම දෙවියන් උදහසට ලක්වන ආකාරයේ සිදුවූ ක්‍රියාවන් රැසක් සම්බන්‍ධව සමාජයේ කතා බහට ලක්වූ ඇමතිවරයෙකි. මහකැබිලිත්ත සියඹලා වෘක්ෂයේ භාවනානුයෝගීව වැඩවෙසෙන කතරගම දෙවියන්ට පූජාවන් පවත්වා සිදු වූ වැරදිවලට සමාව අයැදීම ඇමතිවරයාගේ මේ ගමනේ අරමුණ බව ඔහුගේ ගෝලයෙක් සෙසු පිරිසට කියා තිබුණි.
මහකැබිලිත්තේ සියඹලා දේවාලයට මෙගොඩ පිහිටි ගංඉවුරට එන සියලූ දෙනා එතැන නැවතීම සිරිතය. පළමුව ගෙනා බඩුමුට්ටු දානය පිළියෙළ කිරීමට සූදානම් කරගනී. ඉන්පසු කුඹුකන් ඔයෙන් දිය නා ගංඉවුරේ වැල්ලේ වළවල් හාරා නොඉදුල් දියෙන් මුලතැන්බත් දානය සකසාගැනීම සිරිතය. එසේම මේ කටයුතු කරගැනීම සදහා නැවතී සිටින මෙගොඩ ඉවුරේ රාත්‍රී අදුර මැඩ ගන්නේ පහන් එළියකින් හෝ බැටරි උපයෝගී කරගෙන දල්වා ගන්නා බල්බයකිනි.
නමුත් මේ ඇමතිවරයා එහි පැමිණියේ විදුලි ජනක යන්ත්‍රයක්ද රැගෙනය. මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය පිහිටි ප්‍රදේශය වනසතුන්ට වෙන්කළ ප්‍රදේශයක් බව අමතක කරන බොහෝ දෙනෙක් ඔවුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන අවස්ථාද තිබේ. නමුත් කිසිවෙකුත් එවැනි අයට අවවාද කරන්නට යන්නේ නැත. මේ අයද විදුලියජනක යන්ත්‍රයක් රාත්‍රියේ ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බව අවබෝධයක් නැතිවූ පිරිසක් විය.
අදුර වැටෙන්නට පෙර කුඹුක්කන්ඔය අසලට පැමිණි පිරිස කූඩාරම් කිහිපයක් ඉදිකළහ. ඒවා ආලෝක කරන්නට විදුලි රැහැන් ද ඇද්දේය. ඇමතිතුමා ද මේ කටයුතු දෙස බලා සිටියේය. අඳුර දසත ගලා යද්දී විදුලිජනක යන්ත්‍රය පණගන්වන්නට උත්සාහ ගත්ත ද ඵලක් නොවීය. ඇමති ගෝලයෝ පැය ගණනාවක් තිස්සේම විදුලිජනක යන්ත්‍රය වෙනුවෙන් කාලය ගෙව්වත් ගෙනවිත් තිබූ විදුලි පන්දම් කිහිපය සහ පැමිණ සිටි අනෙක් බැතිමතුන් අදුර මකා ගන්නට ගෙනා ආලෝකයෙන් ඇමතිවරයා ඇතුලූ ගෝලබාල පිරිසත් එළිය බැලූහ. ඒ නිසා පාන්දරම දානය පිළියෙළ කරන්නට දෙවියන්ට පූජා කිරීමට ඇමතිවරයා තුළ තිබූ අදහස සඵල නොවීය.
මහකැබිලිත්තට එන පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගෙන් අඩුවක් නැත. වසර විසිපහක් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා මහකැබිලිත්ත දේවාලයට නිතර යනෙන තැනැත්තෙකි. ඔහු මහකැබිලිත්ත දේවාලයට ගිය අවස්ථාවක එහි පැමිණ සිටි තවත් ඇමතිවරයෙකුට වූ ඇබැද්ධියක් විස්තර කළේය.
‘‘මේ ඇමතිතුමා ඇතුලූ පිරිසට පාර පෙන්වීම මට පැවරී තිබුණා. අපි කොටියාගල පැත්තෙන් ගියේ. අදුර වැටෙන්න ඉස්සර කිලෝමීටර් තිහක විතර දුර ගෙවාගෙන කුඹුක්කන් ඔය අසලට ගියා. වෙලාව තිබුණ නිසා මම ඇමතිතුමාට කිව්වා ‘අපි පූජාව තිබ්බොත් හොදානේද’ කියලා. ඇමතිතුමා ගත් කටටම කිව්වා උදේ පූජාව තමා අනුහස් තියෙන්නේ ඒ හින්දා උදේම පූජාව තියමු කිව්වා.’’
‘‘ඇමතිතුමාගේ වචනයට අභියෝග කරන්න මට බැරි නිසා ‘හා…හොදා’ කියලා මමත් හිටියා. ආපු අය සමහරු කූඩාරම් ගහගෙන හිටියා. තව සමහරු පැදුරු, ඉටිරෙදි එලාගෙන බිම නිදාගත්තා. පාන්දර එකට දෙකට විතර ගග ගලන ශබ්දයේ වෙනසක් මට ඇහුනා. මම තව කිහිප දෙනෙකුට කතා කරලා විදුලි පන්දමත් අරගෙන ගිහිං කුඹුකන්ඔය පැත්තට එල්ලකර බලද්දි කුඹුක්කන් ඔය දෙගොඩතලා ගලනවා. හැබැයි අපි හිටිය තැනට වැහි පොදක්වත් තිබුණේ නෑ.’’
‘‘ඇමතිතුමාටත් කට්ටිය ඒ වෙලාවෙම කතා කරල කිව්වා. එතකොට අඩි පහ හයක් විතර වතුර වැඩිවෙලා තියෙන්න ඇති. ඇමතිතුමා කිව්වා එළිවෙනකොට අඩුවෙයි කියලා. පාන්දරත් වුණා. කුඹුක්කන් ඔයේ වතුර වැඩිවෙනවා මිස අඩුවීමක් නෑ. දැන් වතුර මට්ටම අඩි නවයක් විතර ඇති. දවල් දොළහ වෙනකම් බැලූවා. ඒත් අඩුවක් නෑ. මම කලින් දවසේ ආපු ගමන්ම කිව්වානේ අපි මුලින්ම පූජාව තියමු කියලා. ඇහුවේ නෑ නොවැ. දවල් දහය විතර වෙනකොටත් ගඟ අඩු නොවුන හින්දා ඇමතිතුමා මගෙන් ඇහුවා ‘දැන් අපි දේවාලෙට යන්නේ කොහොමද?’ කියලා.
‘‘ඇත්තටම දේවාලයට යනවා තියා හිතන්නවත් බෑ. මම කිව්වා මෙගොඩ ඉදලා දානය පිළියෙළ කරලා, දවල් නොවුණොත් බෝධියට බුද්ධපූජාව තියලා කතරගම දෙවියන්ට පින් දීලා දේවාලය පැත්තට තියන ගහක් මුල ගෙනා ඉතිරි පූජා බඩු එන කාට හරි ගන්න පුලූවන් විදියට තියලා ආපහු යමු කියලා. ඇමතිතුමාත් ඒකට එකග වුණා. මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන්න ආ ගමන කුඹුක්කන් ඔයේ මෙගොඩ ඉවුරට සීමාකරලා, දේවාලය පෙනි පෙනී ගමන නවතා ආපහු එන්න සිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඇමතිතුමාටත් එයාගේ ගෝලයන්ටත් මහකැබිලිත්තේ හාස්කම් තියනවා කටවරද්දාගන්න හොදනෑ කියලා හිතිලා තිබුණේ.’’ විමල් කොඩිතුවක්කු සිය අත්දැකීම විස්තර කළේය.
උපුටා ගැනීමකි