කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානාච්චි මහතා වෙඩි තබා ඝාතනය වූ පුවත සැලවීමත් සමඟ අප එතැනට යන විටත් පාර දෙපස විශේෂ කාර්ය බළකා නිලධාරින් සී.සී.ටී.වී. පරීක්ෂා කරමින් සිටි අතර නිවසේ වත්ත පුරා රාජ්‍ය නිලධාරින්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ කාර්ය බළකා නිලධාරීන්,පොලිස් නිලධාරීන් ඇතුළු ගම්වාසීන්ගෙන් නිවෙස හා වත්ත පිරී ගොස් තිබූණි.
නිවෙසට පැමිණෙන සියලු දෙනාම කිසිවක් සිතාගත නොහැකිව බලා ගත් අත බලා සිටි අතර රොෂාන් කුමාර මහතාගේ බිරිය වට කරගනිමින් ඇය ලීමට ඇයගේ මිතුරු මිතුරියන් මහත් වෙහෙසක් දරන ආකාරයක් දැකිය හැකි විය. ඇය ඇල්ල ශාසනචන්ද්‍ර විද්‍යාලයේ ආචාර්යවරියකි.
දරු දෙදෙනකු(09-07) වසරවල අධ්‍යාපනය ලැබූ අතර බාල පුතනුවන් පළමු වසරට ඇතුළත් කිරීම සඳහා දරුවාගේ ඇඳුමේ එල්ලීමට නේම් බෝඩ් එක සකසද්දී ඉදිරිපස ජනේලයෙන් වෙඩි වර්ෂාවක් පත්තු වන විට ඔහු එතැනින් පැන සාලයට දිව යන විට සාලයේ තිබූ බුදු පහන ඉදිරිපිට බුදුන් නැමදීමට මෙන් වැතිරී ලේ විලක් මැද අවසන් හුස්ම හෙළුවේ දරුවන් හා බිරියගේ දෑස් ඉදිරිපිටදී වීම ඔවුන්ට දිවි ඇති තුරා දරා ගැනීමට නොහැකි වනු ඇත.
නිවසේ කාමරයක ගුලිවී දරුවන් පවසන දෑ අසා සිටීම හදවතක් ඇති කිසිවකුට දරාගත නොහැකිය. බාල පුතු පූසෙකු තුරුළු කරගෙන කාමරයේ සිටින අයුරු පිටතට පෙනෙන අතර “තාත්තා එනකම් ඉන්න පූසෝ. ඔයාට තාත්තා කෑම අරන් ඒවි” යැයි පවසන බව කීවේ ඔහුගේ ඥාතිවරියකි. මෙය කිසිවකුට දරා ගත නොහැකිය.දරුවන් කිසිවකු එළියට හෝ බහින්නේ නැත.
රොෂාන් කුමාර මහතාගේ බිරිය කිසිවක් ගැන කල්පනාවක් නැති සේය. “කාටත් උදවු කළ මගේ මහත්තයා ලොකු ගානක් වියදම් කර බට දාලා වතුර ටැප් එකක් ඊයේ පාර අයිනේ සවිකළා. පාරේ යන මිනිස්සුන්ට වතුර ටිකක් දුන්නාම පින් සිදුවෙනවා කියලා. එයා කාටත් කළේ උදව්. කාටවත් එයා මරන්න වුවමනාවක් තිබුණේ නෑ. මේ අපරාධය කළ කාට වුණත් හොඳක් සිද්ධ වෙන්නේ නම් නෑ. මගේ දරු පවුලම අනාථ වුණා දෙවියනේ”යැයි පවසමින් හඬා වැටෙන අතර ඇයගේ මිතුරියන් හා නෑයින් ඇය අස්වසාලීමට නොගන්නා උත්සාහයක් නැති තරම්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහුගේ බිරියගේ සහෝදරයකු වූ නවිඳු කාහිංගල යන අය මෙසේ කීය.
“මගේ සහෝදරයා රත්තරන් හදවතක් තිබුණු පොළොවේ පය ගහල හිටපු කෙනෙක්. ජනතාව හරිම ආදරෙයි එයාට. දුප්පත් අයට හරියට උදව් කළා. පරණ යකඩ බඩු කඩවල්වලින් බඩු ගෙනත් දුප්පත් දරුවන්ට විවිධ දේ හදලා දෙනවා. ආදායමක් උපයා ගන්න කියලා.
අද පොඩි පුතා පාසලට භාරදෙන මුල්ම දවස. හරිම සතුටෙන් තමයි හිටියේ. ලබන මාර්තු අටවැනිදා උපන්දිනය. එදාට පාටි එපා. වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවා කියලා තමයි එයා කීවේ. මගේ සහෝදරියගේ මුළු පවුලම අනාථ වුණා.ගේ හදලා පදිංචි වුණේ ළඟදි. දැන් මොනවා තිබුණත් වැඩක් නෑ. දරුවන්ට තාත්තා කෙනෙක් නැති වුණා”යැයි පැවසුවේ හැඬූ කඳුළිනි.
කුරුඳුගහ මහජන සෞඛ්‍ය පරීක්ෂක යූ.කේ.ඩී.ආර්. ලසන්ත මහතා – “එයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් විශාල වැඩ කොටසත් ඉටු කළා. ඒ වගේම තමයි ලංකාව පුරා අධිකරණවලට ගොස් ආහාර ආශ්රිත සමාගම් පිළිබඳ නඩු මෙහෙයවුවා. අතිදක්ෂ නිලධාරියෙක්.වැටලීම්වලටත් යනවා. කිසිම කෙනෙකුට නම්මන්න බැරි මුදලට වහල් නොවූ කෙනෙක්.
ඒ වගේම හරිම සුහදශීලි කාර්ය මණ්ඩලයට ආදරය කළ නිලධාරියෙක්. මළගෙය,මඟුල්ගෙය අත ඇරියේ නෑ. දුප්පත් මිනිස්සුන්ට අතේ තියෙන මුදලින් හරි කෑම අරන් දෙනවා. උදව් කරනවා. ඒ වගේම මාධ්‍යයට හරි සම්බන්ධයි. මාධ්‍යයටත් ආදරෙයි. එයාගේ අඩුව කාලයක් යන තෙක් පුරවන්න බැරි වේවි”යැයි පැවසුවේ තම සොහොයුරු නිලධාරියාගේ වියෝව දරා ගත නොහැකි බව කියමිනි.
කෙසේ වුවද මෙය ජාති ජාතිත් සහ ගහන බව එහි සිටි සියලු දෙනා පැවසූ අතර මේ වන විට දරුවන්ට හොඳ පියෙක් බිරියට හොඳ සැමියෙක් නිලධාරීන්ට හොඳ නායකයෙක් ජනතාවට හොඳ නිලධාරියෙක් අහිමි වී හමාරය.
මේ වන විට ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය නිවසට පැමිණ මහෙත්‍රාත් පරීක්ෂණය කළ අතර ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ සිරුර තැන්පත් කර ඇත. මේ වන විට සීසීටීවී දර්ශන පරීක්ෂා කරන අතර ඇල්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් වැල්ලගේ,උප පොලිස් පරීක්ෂක විජය කුමාර ඇතුළු අපරාධ අංශ නිලධාරීන් සමඟ කණ්ඩායම් කීපයක් පරීක්ෂණ කටයුතුවල යොදවා ඇති බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
දිනමිණ