කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 07ක ගමන් වාර අද (26) දිනයේ දී අවලංගු කළ බව කටුනායක ගුවන් තොටුපොළෙහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එම ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා කියා සිටියේ අදාළ ගුවන් යානා 7 ප්‍රමාද වීමක් පමණක් සිදු වී ඇති බවයි.
කටුනායක ගුවන් තොටුපොළෙහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළ ආකාරයට අද අලුයම 01.10ට ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්.-173 දරණ යානය සහ අලුයම 01.15ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්.- 402 දරණ යානය මෙලෙස අවලංගු කර තිබෙනවා.
එසේම අද පස්වරුවේ තවත් ගමනාන්ත 4ක් වෙත ළඟා වීමට සැලසුම් කළ ශ්‍රී ලංකන් ගුවන් ගමන් 4ක්ද අවලංගු කර තිබෙනවා.
ඒ අනුව, අද පස්වරු 01.45ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත යූ.එල්.- 127 දරන ගුවන් යානය, පස්වරු 05.10ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත යූ.එල්.- 143 දරන යානය ද අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මීට අමතරව අද පස්වරු 06.30 ට සෞදි අරාබියේ දමාම් බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 ගුවන් යානය සහ අද රාත්‍රී 06.50ට අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත යූ.එල්.- 207 ගුවන් යානය ද මෙලෙස අවලංගු කර තිබෙනවා.
ඊට අමතරව අද පස්වරුවේ චෙන්නායි බලා ගමන් කිරීමට නියමිතව තිබූ වෙනත් ගුවන් සේවයට අයත් යානයක්ද අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් අදාළ ගුවන් යානා ප්‍රමාද වී ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා කාර්මික ශිල්පීන් 160ක් පමණ පසුගිය කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව කියා සිටියේ.