නැගෙනහිර පළාත් මහ ඇමති අහමඩ් නසීර් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කළ බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසනවා.
නැගෙනහිර පළාත් මහඇමතිවරයාට ත්‍රිවිධ හමුදා කදවුරුවලට ඇතුළුවීම පසුගිය දා තහනම් කෙරුණු අතර ඔහු පැමිණෙන උත්සවවලට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහභාගි නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
ඒ, නාවික හමුදාව, ත්‍රිකුණාමලය සාම්පූර් මහා විද්‍යාලයේ සංවිධානය කළ ත්‍යාග ප්‍රදානෝත්සවයක් අතරතුර පළාත් මහ ඇමති අහමඩ් නසීර් නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.
සිද්ධියට මුල් වූ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් ඔහු පවසන්නේ සාම්පූර් මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගැනීමට සහ කණගාටුව ප්‍රකාශ කිරීමට තමන් පසුබට නොවන බවයි.
එදින ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් පැහැදිලි කරන ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ අදාළ උත්සවයේදී ආණ්ඩුකාරවරයා කරන ලද කැදවීමකට අනුව තමන් වේදිකාව වෙත ගිය බවයි.
ඒ යන අතරමගදී අදාළ නාවික හමුදා නිලධාරියා තමන්ව නතර කළ ආකාරය පිළිබද සෑහීමකට පත්විය නොහැකි බව ඔහු පවසනවා.
පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අදාළ උත්සවයේදී තමාට නිසි ගෞරවය හිමිවූයේ ද යන්න පිළිබදව ගැටලූවක් පවතින බව ද ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.
එමෙන්ම, ත්‍රිවිධ හමුදා නිලධාරින් තමන් සහභාගි වන උත්සව වර්ජනය කිරීමට ගෙන ඇති තීන්දුව නිවැරදි නොවන බව පවසා තිබූ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයා සිද්ධිය පිළිබද සොයා බැලීමට පෙර එවැනි තීන්දුවක් නොගත යුතුව තිබූ බවයි.