‘‘අම්මා තාත්තට පොල්ලෙන් ගහලා අපි දෙන්නව දාලා ගියා,
තාත්තට කතා කළත් එයා නැගිට්ටේ නෑ,‘‘
තම සැමියාව පොල්ලකින් ගසා ඝාතනය කළ බිරිඳක් ඔවුන්ගේ දරුවන් දෙදෙනාද නිවසේ තනිකර තමා පැණ ගිය පුවතක් පිළිබඳව කෑගල්ල බෙලිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙහි ශෝකජනකම සිද්ධිය වන්නේ අම්මාගේ පොලු පහරින් තාත්තා මියගිය බවක් නොදත් දරුවන් දෙදෙනා කිසිවකුගේ රැකවරණයක් නොමැතිව දින පහක් තිස්සේ ඉදුණු කෙසෙල් කැනක ගෙඩි කමින් මළගෙදරක හුදකලාව සිටීමයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කෑගල්ල බෙලිගල, හත්නාගොඩ, හරංකහව පදිංචිව සිටි ගොඩයලාගේ ප්‍රේමරත්න නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි.
ඊයේ (24) පෙරවරුවේ කෑගල්ල පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇති අතර ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ස්ථීර රැකියාවක් නොකළ ගම්මානයේ එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත්ව ඇති අයෙකි.
කෑගල්ල පල්ලේවල ප්‍රදේශයේ කාන්තාවක් මීට වසර අටකට පමණ ඉහතදී විවාහ කරගෙන සිය නිවෙසට පැමිණ ජීවත් වුණු මොවුන්ට වයස අවුරුදු පහක හා අවුරුදු තුනක පිරිමි දරුවෝ දෙදෙනෙක් සිටියි.
ඔවුන්ගේ නිවසද හරිහැටි ඉදිකිරීමට තාමත් කටයුතු කර නැති අතර මේ යුවළ අතර නිතර නිතර අඬදබර පැවැති බවත් ඒ අවස්ථාවල අදාල කාන්තාව අනේක වාරයක් දරුවන් දමා නිවසින් ගොස් ඇති බවත් අසල්වැසියෙකු පවසා තිබේ.
එලෙස පසුගිය 19දා රාත්‍රි මේ දෙදෙනා අතර ගැටුමක් හටගෙන කාන්තාව පොල්ලක් ගෙන සිය සැමියාට පහර දී ඝාතනය කර පලාගොස් ඇත. අඩක් නිම කළ කාමරයේ තම පියාගේ සිරුර තිබියදී දරු දෙදෙනාද එම කාමරයේ 19දා සිට ඊයේ (24) දිවා රෑ ගත කර ඇති බව දැගනන්නට ලැබේ.
ගෙදර කපා දමා තිබූ කෙසෙල් කැනක ගෙඩි ආහාරයට ගෙන වයස අවුරුදු පහක හා තුනක දරු දෙදෙනා දින හතරම කාලය ගතකර ඇති බවද දැනගන්නට ලැබේ.
අම්මා තාත්තා දෙන්නා රණ්ඩු වූ බව වයස අවුරුදු පහක දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇති අතර පසුව අම්මා තාත්තාට පොල්ලකින් පහරදී අප දෙදෙනා දමා ගිය බවත් ඔහු පවසා තිබේ. වැටී ඉන්න තාත්තාට කතා කළත් ඔහු කතා නොකළ බවත් කෙසෙල් ගෙඩි කමින් සෙල්ලම් කරමින් මල්ලී සමඟ නිවෙසේ සිටි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඊයේ (24දා) කෑගල්ල පොලිසියට ලද තොරතුරකට අනුව එම නිවෙසට ගොස් පරීක්ෂා කර බලා දරුවන් දෙදෙනා එයින් මුදාගෙන ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාල සහෝදරියක වෙත භාරදී ඇත.