‘‘පුතේ මේ ඇඳුම් අපිට අවුරුද්දට තෑගි ලැබුණු ඒවා, ඒ වුණාට අපි ඒවා ඇන්දේ නෑ‘‘
අයහපත් කාළගුණය එක්ක ගලපු ගංවතුරෙන් අවතැන් වුණු ජනතාවට ආධාර උපකාර කරන්න අපේ රටේ මිනිස්සු මේ වෙනකොට බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. තමන් වැඩ කරන කාර්යාලයේ, පන්තියේ, එහෙමත් නැත්තම් යාළුවෝ එකතුවෙලා අසරණ වුණු මිනිස්සු වෙනුවෙන් ආධාර එකතුකරනවා වගේම ෆේස්බුක් එකේ මිතුර මිතුරියොත් පුලුවන් විදියට මේ මිනිස්සුන්ට උදව් වෙන්න කටයුතු කරලා තියෙනවා.
ඒ අතරේ සිද්ධ වුණු හරිම සංවේදී කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ. දකුණු අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම - වල්ගම තියෙන ප්‍රධාන කාර්යාලයේ පිරිසක් අවතැන් වුණු අය වෙනුවෙන් ආධාර කරන්න කෑම, වතුර බෝතල්, රෙදි වගේ දේවල් එකතු කරන්න ගත්තා.
හැමතැනින්ම ආධාර ගෙනාව මිනිස්සු හිටියා. සමහර අය තමන්ගේ වාහන වලින් ඇවිත් පෙට්ටි පිරෙන්න ආධාර දීලා ගියා. ඔය අතරේ හෙමින් සැරේ සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඒ තැනට ආවා. ඒ සීයාගේ නම සල්ගාදු. ඉන්නේ බණ්ඩාරගම. ඒ අයගේ අතේ පුංචි මලු දෙකකුත් තිබුණා.
කඩිමුඩියේ බඩු එකතු කරන අය ළඟට ඇවිත් එයාලා දෙන්නා මේ පුංචි මලු දෙක දිග ඇරලා කීවේ ‘‘පුතේ මේ ඇඳුම් අපිට අවුරුද්ද තෑගි ලැබුණු ඒවා, ඒ වුණාට අපි ඒවා ඇන්දේ නෑ, මේවා අරන් ගිහින් අසරණ වුණු මිනිස්සුන්ට දෙන්න‘‘ කියලා.
ඒ කියපු වචන ටිකට ළඟ හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු ආවේ ඒ අයටත් නොදැනිමයි. ඒ මල්ලේ සරම් දෙකකුයි චීත්ත තුනකුයි තිබුණා. ඒ ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම ආධාරේ වෙන්න පුලුවන්. ඒත් විපතක් වෙලා මිනිස්සු අසරණ වුණාම ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදන සමහර මිනිස්සු අතරේ තමන් සතුටින් තියාගෙන ඉන්න පුංචි දේ වුනත් පරිත්‍යාග කරන්න දෙපාරක් නොහිතන මේ වගේ මිනිස්සුත් අපේ රටේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් ලොකු සතුටක්..
අපිට මේ කතාව කීවේ උදාර ගුරුගේ