පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ විශේෂ සිද්ධියක් වූයේ මතෛක් කලක් සිරකරුවන් වෙනුවෙන් වෙන්ව තිබූ ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය මහජනතාව වෙනුවෙන් විවෘත වීමයි. දහස් ගණන් ජනතාව මතෛක් කලක් තමන්ට දැකගන්නට නොලැබුණු මෙම ස්ථානය දැකගන්නට වැල නොකැඩී පැමිණෙන අයුරු මාධ්‍ය තුළින් දැකගත හැකි විය.
මහනුවර ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පල්‍ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත ගෙන යාමත් සමගම බෝගම්බර බන්ධනාගාරය මෙසේ හිස් වූයේ වසර 138 කට පසුවය.
අතීතයේ කන්ද උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසින් විසින් මෙම ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත්තේ 1876 වසරේදී බව සඳහන් වේ. එය ඉදිකර ඇත්තේ මෙරට ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස්වරයා වූ එන්.ආර්. සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේය. කිසිදු තැනකින් වෙන් නොවුණු, එකම, ‘තනි’ පදනමක් මත ආසියාවේ ඉදි වූ දිගම ගොඩනැගිල්ල ලෙස සැලකෙන මෙම බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වේ. මෙහි සිරමැදිරි තුන්සිය විසි අටක් ඇති අතර දිවයිනේ ආරක්ෂාකාරී බන්ධනාගාර අතුරින් දෙවන තැන හිමිවන්නේ බෝගම්බර බන්ධනාගාරයටය.
මෙම බන්ධනාගාරය එවකට ඉදිකර ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. එදා මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැයවූ මුදල ලෙස සඳහන් වන්නේ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලකි. මෙම බන්ධනාගාරය මහනුවර නගර මධ්‍යයේ හෙක්ටයාර් 5,0596 පුරා පැතිර පවතී. බෝගම්බර බන්ධනාගාරයේ සිටින රැඳවියන් සඳහා තම ආගම ඇදහීමට අවශ්‍ය සියලුම සිද්ධස්ථාන ද මෙම බන්ධනාගාරය තුළ ස්ථාපිත කර ඇත. මීට අමතරව එක් එක් වර්ගයන්ට අයත් සිරකරුවන් වන, මරණ දණ්ඩනයට යටත් සිරකරුවන්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලද සිරකරුවන්, සාමාන්‍ය සිරකරුවන්, සිවිල් වැරදි සඳහා දඬුවම් ලැබූ සිරකරුවන් හා සාමාන්‍ය සිරකරුවන්, වෙන වෙනම රඳවා තැබිමට විශේෂිත සිරකුටිද මෙහි ඉදිකර ඇත. මෙම සිරකුටි තුළ දරුණු ගණයේ සිරකරුවන් පමණක් නොව දේශපාලන සිරකරුවන් ලෙස ප්‍රකට කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා වැනි අයද සිර දඬුවම් විඳිමින් සිට ඇත.
මෙම බන්ධනාගාරය ඉදිකිරීමට පෙර ඉංග්‍රීසින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ “හැන්ග්මන්ස් හිල්” (Hangman’s Hill) ලෙස එකල හැඳින්වූ, දැන් මධ්‍යම වෙළෙඳපොළ පිහිටි ස්ථානය ඉදිරිපිට තිබූ කුඩා කඳු ගැටයක බවද ඉතිහාසය සඳහන් කරයි. 1876 වසරේ මහනුවර බෝගම්බර බන්ධනාගාරය ඉදි වූ පසු එහි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත. ලංකාවේ පළමුවරට, එකවර තිදෙනෙකු එල්ලා මරා දැමිය හැකි ආකාරයේ එල්ලුම්ගසක් නිර්මාණය කර ඇත්තේ ද බෝගම්බර බන්ධනාගාරයේ පමණි.
1876 වසරේ සිට 1975 වර්ෂය දක්වා බෝගම්බර බන්ධනාගාරයේ ඇති මෙම එල්ලුම්ගසේ වැරදිකරුවන් 524 දෙනෙකු එල්ලා මරා දමා ඇත. මෙම එල්ලුම්ගසේ අවසානවරට එල්ලා මරා ඇත්තේ එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් දෙදෙනා වූ ඩබ්ලිව්. ඩී. රිචඩ් හා ටී. එම්. ජයවර්ධන යන වරදකරුවන්ය. මොවුන් එල්ලා මරා දමා ඇත්තේ 1975 නොවැම්බර් 21 හා 22 යන දෙදින තුළය. මෙම බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනයට නියමවූවන්ට එම අවස්ථාවේ අන්දවන ඇඳුම් කට්ටලය පවා අද බෝගම්බර බන්ධනාගාරයේදී දැක ගත හැකිය.
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම්ගස ඇති ස්ථානයට මුහුණලා ඊට නුදුරින් බෝගසක් පිහිටා ඇත. එදා සිට අද දක්වාම මෙම බෝගසේ, එල්ලුම්ගස දෙසට බෝ අතු නොවැඩෙන බවට විශ්වාසයක්ද පවතී. යම් ආකාරයකින් ඒ දෙසට බෝ අත්තක් වැඩුනද ටික කලකින්ම එය මරණයට පත් වන බවටද විශ්වාසයක් පවතී.
මෙම බන්ධනාගාරය ස්ථාපිත කර ඇත්තේ ඉපැරණි බෝගම්බර වැව ගොඩ කළ ස්ථානයේ බවද ඉතිහාසයේ සඳහන් වේ. එකල මහනුවර බෝගම්බර වැව පිහිටා තිබි ඇත්තේ මෙම භූමියේ බව පැවසෙන අතර දැනට මහනුවර නගරයේ දක්නට ඇති වැව පසුව ඉදිකළ එකක් බවද සඳහන්ය. දැනට බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇති ස්ථානයේ පිහිටි බෝගම්බර වැවේ එදා ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වා මරා පසුව එම මළ සිරුර ගොඩගත් ස්ථානයද අදත් මෙම බෝගම්බර බන්ධනාගාරය තුළ දැක ගත හැකිය. එසේම උතුවන්කන්දේ සරදියෙල් සහ මරු සිරා රඳවා තැබූ සිරකුටිද බන්ධනාගාරය තුළ දැකගත හැකිය.
බෝගම්බර බන්ධනාගාරය පසුගියදා මහජන ප්‍රදර්ශනයට පත් කළ පසු මේ වන විට අධික ජනකායක් එය නැරඹීමට පැමිණ ඇත. මෙම මහජන ප්‍රදර්ශනයෙන් පසුව බෝගම්බර බන්ධනාගාරයේ ඇති එල්ලුම්ගස නැවත පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ස්ථාපිත කෙරෙනු ඇති අතර නැවත එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමට අණ ලැබෙන තුරු පල්‍ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිට එල්ලුම්ගස බලා සිටිනු ඇත. එල්ලුම් ගස සදහා අවස්ථාවන් දෙකකදී අළුගෝසුවන් බදවා ගත්තද ඔවුන් රැකියාව භාරගැනීමටත් පෙරම පළාගියෝය. මෙම එල්ලුම්ගස නැරඹීමට පැමිණෙන මහජනතාවට එල්ලුම්ගස පිළිබඳව ලිඛිතව අදහස් දැක්වීමටද අවස්ථාව උදාකර දී ඇත. එහි වැඩි වශයෙන්ම මහජනතාව සඳහන් කර ඇත්තේ දිනෙන් දින වැඩි වන අපරාධ මධ්‍යයේ නැවත එල්ලුම්ගස ක්‍රියාත්මක කළ යුතු බවය.
මෙම බන්ධනාගාරය සම්බන්ධයෙන් ඉදිරියේදී කුමන පියවරක් ගනු ඇතිද යන්න ගැන තවමත් දැනගන්නට නොමැත. මෙම ස්ථානයේ සංචාරක හෝටලයක් ඉදි කරනු ඇති බවටද ආරංචි පැතිරෙන අතර රජය පැත්තෙන් පැවසෙන්නේ එවැනි කිසිදු අදහසක් නොමැති බවයි. බන්ධනාගාරය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවද සඳහන් වේ.