මෙරට ප්‍රධාන පෙළේ රජයේ කාන්තා රෝහලකට ඉකුත් අගෝස්‌තු මස අග භාගයේදී ඇතුළත් කරන විටද මියගොස් සිටි සිවු මස් ගැබිනි මවකගේ වකුගඩුවක් නීති විරෝධි අයුරින් ඉවත් කර වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට යවා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ප්‍රසිද්ධ පුවත්පතකට පවසා ඇති බවට එම පුවත්පත අද (8) වාර්තා කර තිබෙනවා.
මෙසේ නීති විරෝධි අයුරින් එම ගැබිනි මවගෙන් වකුගඩුවක් ඉවත් කර ගෙන ඇත්තේ ඇයගේ සිවු මස් ළදරු කලලය සිසේරියන් සැත්කමක් මගින් ඉවත් කළ ඉහත කී රජයේ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් බව එම විශේෂඥ වෛද්‍යවරු පවසා තිබෙනවා.
මෙම සිදුවීම මෑතකදී වාර්තා වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුව ඇතැයි කියන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට සම්බන්ධයක් තිබිය හැකි බව පෙන්වා දෙන එම වෛද්‍යවරු එවැනි තත්ත්වයක් පැවැතියද එම සිදුවීම පිළිබඳව මෙතෙක් විධිමත් පරීක්‍ෂණයක් සිදුවී නොමැති බවට චෝදනා කරනවා.
මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතත් මෙතෙක් පොලිසිය මගින් හෝ එම සිදුවීම පිළිබඳ පරීක්‍ෂණයක් අරඹා නැතැයි ඔවුහු කියා සිටිනවා.
එම ගැබිනිය රජයේ කාන්තා රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිටි අතර ඇයට සිසේරියන් සැත්කමක් සිදු කර ළදරු කලලය පිටතට ගෙන පසුව වකුගඩුවක්‌ද ඉවත් කරගෙන ඇත්තේ මියගිය අයගේ පවුලේ ඥාතීන්ටද නොදන්වා බවයි වාර්තා වන්නේ.
මේ බව දැනගත් පසු ඇයගේ ඥතීන් විසින් කළ දැනුම් දීමකට අනුව රෝහල මගින් සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ නොකිරීම ගැටලුවක් බව එම කාන්තා රෝහලේ වෛද්‍යවරු අදාල පුවත්පතට පවසා තිබෙනවා.