ක්ලබ් එක ඇතුලේ අකටයුතුකම් රැසක් වුණාලු
අනුරාධපුරය - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ඊයේ (24) රාත්‍රි 11.45 ට පමණ ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් පිරිසක් කඩුවලින් සහ පොලූවලින් පහරදී එහි හිමිකරු ඝාතනය කර තිබෙනවා.
කරාටේ ශූරයෙකුද වන 57 හැවිරිදි වසන්ත සොයිසා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම පහරදීම සඳහා මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ පැමිණ ඇති අතර, ඔවුන් රාත්‍රි සමාජ ශාලාවේ දේපළවලටද හානි කර තිබෙනවා.
එමෙන්ම, පහරකෑමෙන් තුවාල ලැබූ එම රාත්‍රි සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු සේවකයින් තුන් දෙනෙකුද මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මෙම සිද්ධිය එහි සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ සටහන් වී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.
මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව පැවසෙනවා. මෙම රාත්‍රී සමාජ ශාලාවේ අකටයුතුකම් රැසක් සිදුවන බවටද ප්‍රදේශයේ ජනතාව සඳහන් කර තිබුනා.
පසුගිය වර්ෂයේ නොවැම්බර් 11 දා අලුයම අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් මෙම ස්ථානය වටලනු ලැබූවේ රාත්‍රී සමාජ ශාලාව නීති විරෝධී බව පවසමින්. එහි දී කාන්තාවන් 8ක් සහ එහි කළමනාකරු මෙන්ම හිමිකරුද අත්අඩංගුවට ගත්තා.