සිරුරු ගොඩගන්න මොහොතේ දෙන්නාම එකට බදාගෙන ඉඳලා
අගලවත්ත දාපිලිගොඩ පිහිටි ගල්ලැක් ඇළ නමැති ගංගාවේ දිය නෑමට ගිය 23 හැවිරිදි නිවුන් සොයුරියන් දෙදෙනකු දියේ ගිලී මියගිය සෝචනීය පුවතක් පසුගියදා වාර්තා වුණා. ඔවුන්ගේ මළ සිරුරුද පසුගිය 1වනදා රාත්‍රි 9.00ට පමණ සොයාගෙන තිබූ අතර මිය ගිය තරුණියන් දෙදෙනා වන්නේ දාපිලිගොඩ පදිංචි ගල්පාතගේ චලුනි නිත්‍යා තිළිණි හා පියුමි නිත්‍යා දිලිනි යන විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනායි.
ඔවුන් පසුගිය 1වනදා සවස 5ට පමණ නිවෙස අසල ඇළට දිය නෑමට ගියත් රෑ 8 පමණ වන තුරුත් නිවසට පැමිණ නැහැ.
මේ හේතුවෙන් මව විසින් පොලිසියට දැනුම් දීමෙන් පසු ප්‍රදේශවාසීන්ගේ උදවු ඇතුව තරුණියන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ සිරුරු ඉතා ගැඹුරු ස්ථානයක තිබී එකට බදාගෙන සිටියදී ගොඩගෙන තිබෙනවා.
දියමංකඩ අසල සිටි මී එළදෙනෙකුට බියෙන් ඔවුන් දෙදෙනා මෙසේ දියට පනිනන්ට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ. ඔවුන්ගේ රෙදි හා පාවහන් තැන තැන විසිරී තිබූ අතර මේ මී එළදෙන එම ස්ථානයට යනෙන පිරිසට අනින්නට උත්සාහ කරන අයුරුද දැක තිබෙන බවද වාර්තා වේ.
මියගිය නිවුන් තරුණියන්ගෙන් වැඩිමහල් සොයුරිය චලුනි නිත්‍යා කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරිකව ඉගෙනුම ලබන අතර පියුමි නිත්‍යා එම විශ්වවිද්‍යාලයේම බාහිර අපේක්ෂිකාවක් ලෙස උපාධිය හදාරමින් සිට ඇති බවටද වාර්තා වේ.
‘‘මියගිය දරුවන් නේවාසිකව ඉගෙනුම ලබනවා ඔවුන් පෝය දවසෙ ගෙදර ආවේ. වෙනදටත් ඔවුන් දෙදෙනා එකට මේ ස්ථානයේ නාන්න යන්නේ. ඊයේත් සවස නාන්න ගිහින් රෑ වෙන තුරු ඇවිත් නෑ පසුව බිරිඳ 119ට දැනුම් දීල තිබෙනවා.‘‘ යැයි පියා පවසා තිබේ.