අනුරාධපුරය - මිහින්තලය - රඹෑව නගරයේදී ඊයේ (01) පස්වරුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු පැදවූ වෑන් රථයකට යටවීමෙන් දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගියේ අමාත්‍ය දුමින්ද දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයට අදාළ අත්පත්‍රිකා බෙදමින් සිටි රඹෑව ප්‍රදේශයේම පදිංචිව සිටි 22 හැවිරිදි දුමින්ද කුමාර නැමති තරුණයෙක්. තරුණයා සමග අත්පත්‍රිකා බෙදමින් සිටි තවත් කාන්තාවක් ඇතුලූ සිව්දෙනෙක් ද අනතුරෙන් තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කළා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ අනුරාධපුර කොට්ඨාශ දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයායි. ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පැදවූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පස්වරුවේ මිහින්තලේ පොලීසියට භාරවුණා. තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි අනුරාධපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු සඳහන් කළේ. මේ අතර තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අමාත්‍ය දුමින්ද දිසානායකද අද පස්වරුවේ අනුරාධපුර මහ රෝහල වෙත පැමිණ තිබෙනවා.