තබ්බෝව අභය භූමියේ රාල්මඩුව වැව් ඉස්මත්තේ දී තලගොයින් හත් දෙනෙකු අල්ලා මස් පිණිස අලෙවි කිරීමට රැගෙන යමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු එළුවන්කුලම වනජීවි කාර්යාලය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් 10,000 බැගින් ශරීර ඇප නියම කල පුත්තලම අතිරේක දිසා විනිසුරු භාරති විජේරත්න මෙනවිය තලගොයින් හත් දෙනා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඌත්තු මඩු ආරු ප්‍රදේශයට මුදාහැරීමට නියෝග කර තිබුණි.
මෙසේ ශරීර ඇප නියම වූ සැකකරුවන් සිව් දෙනා පරණ එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 අඩු වයස් වල පසූ වන පිරිස් බවත්, මොවුන් ධීවරයින් ලෙස රැකියාවේ යෙදෙන අතර, එයට අමතරව තබ්බෝව අභය භූමිය හා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයමේ යන පිරිස් බව වන ජීවි නිළධාරින් පවසයි.
(9) වන දින මෙම සැකකරුවන් රාල්මඩුව වැව් තාවුල්ලේදී තලගොයින් මදු යොදා ගනිමින් අල්ලාගෙන ඇති අතර, සත්ව හිංසාව ඇති වන ආකාරයෙන් ඉතා අමානුෂික ලෙස තලගොයින්ගේ පාද හා අත් එකට ගැට ගසා තිබූ බව කියයි.
මෙම තලගොයි දඩයම සඳහා පස් දෙනෙකු තබ්බෝව අභය භූමියට ඇතුළු වී තිබූ නමුත් වන ජීවි නිළධාරින් වැටලීම සිදු වන අවස්ථාවේ එක් සැකකරුවෙකු පලාගොස් තිබූ බව කියයි. පලා ගිය සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ආරම්භ කර තිබූ අතර, සැකකරුවන් විසින් දඩයම් කර තිබූ තලගොයින් හත් දෙනා උරවල යොදාගෙන සැක නොසිතන ලෙස ත්‍රිරෝද රථයක පිටු පස අසුන යට සගවා රැගෙන යමින් සිටිය දී මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි. අත් අඩංගුවට ගෙන තිබූ දෑ අතර, පැපැදියක්, බිලි කොකු, පොරවක් තිබූ බව වනජීවි නිළධාරින් පවසයි.