වසු පැටියට හරි පාලුයි පුංචි පුතා නැති නිසා..
මගේ රත්තරන් දරුවා හොරු අරන් ගියා..
ඇත්කඳුර, නාඹරඅත්ත දකුණු පළාතේ සුන්දර එහෙත් දුෂ්කර ප්‍රදේශයක්.
කුරුඳු වවමින් කුරුඳු තලමින් බොහෝ පිරිසක් මේ ගම්මානයේ තම ජීවිතය ගැට ගසා ගන්නා අතර තුෂාර ප්‍රියන්ත ලියනගේද එවැනි පවුලක බාර කරුවායි.
දීපිකා දමයන්ති ඔහුගේ බිරිඳ වන අතර අද වන විට මුලු නාඹරඅත්ත ප්‍රදේශයටම ඇගේ කටහඬ ඇසෙන්නේ අසන අසන දෑසට කඳුළු එක්කරමින්.
'මේ මගේ රත්තරන් පුතා අඳින්න ආසම ඇඳුම, එයාගේ සෙරෙප්පු දෙක එයාටම ගෙනියන්න පෙට්ටියෙන් තියන්න..අනේ පුතේ මෙන්න ඔයාගේ පන්තියේ යාළුවෝ ඇවිල්ලා.. කතා කරන්න මගේ රත්තරන් පුතේ.. '
සරුංගලයක් යැවීමට ගොස් වළකට වැටී මියගිය තම දරුවාගේ නිසල දේහය බදා ගනිමින් ඇය කඳුළු සලන්නේ තමන්ගේ ලෝකය බිඳ වැටුණු නිසායි.
තරිඳු චතුරංග ලියනගේ නම් මේ පාසල් දරුවා ඉකුත් 25 වැනිදා තම මව ඇඳුම් මසමින් සිටි කඩයක් අසළ සරුංගල් යවමින් සිටියදී ගෙවත්තක තිබූ අලුතින් කපා සකස් කළ වතුර පිරී තිබූ වැසිකිළි වළකට වැටීමෙන් මිය ගොස් තිබුණා.
ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ තරිඳුගේ නිවසට විදුහල්පතිනිය, ගුරුවරු සමග පාසල් මිතුරන් ද එක්ව සිටින අතර නිසල දේහය දුටු විට මිතුරු මිතුරියෝද හඬා වැටෙන්නේ පාසලේ කෙළි සෙල්ලම් කළ මිතුරාගේ නිසල බවට විය යුතුයි.
තරිඳුගේ ආච්චී ගෙයි දොරකඩට වී දරුවාගේ අතීත හුරතල් කතා සියල්ලන්ටම සිහිපත් කරන්නට වුණා.
'අනේ මේ දරුවා හරිම අහිංසකයි. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවම මාත් එක්කමයි ඉන්නේ. එයාට හුරතල් වහු පැටියෙක් ඉන්නවා. හරිම ආදරෙයි. සතාගේ කිනිතුල්ලෝ ඉවත් කරලා නාවලා කන්න බොන්න ගෙනත් දෙනවා. මගේ රත්තරන් දරුවා හොරු අරන් ගියා වගේ. මේ වගේ දුකක් විපතක් හතුරකුටවත් වෙන්න එපා. '