ලැගුම්හලේදී පොලිස් කොස්තාපල්වරියන් දැරියගේ කනටත් ගහලා
ආණමඩුව - මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව තම පෙම්වතා විසින් දුෂණය කළ බව කියන පැමිණිල්ලක් පසුගිය 05 වැනිදා ආණමඩුව පොලීසියට ලැබී ඇත.
පසුව අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිවියක්ව පරීක්ෂණ සදහා කැදවාගෙන ගොස් ඇයට පහර දුන් බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුව මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ආණමඩුව මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා සවස නියෝග කර ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුවය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර ඇති ආණමඩුව පොලීසියේ නිලධාරීන් දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ආණමඩුව පුත්තලම පාර පදිංචි එම සැකකරු වයස අවුරුදු 15 ක් වන බාල වයස්කරුවෙකි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව මේ වන විට පරිවාස බාරයට පත් කර ඇත.
එවකට ආණමඩුව පොලීසියේ සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් විසින් අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිවියව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අවසරය මත ඇය දූෂණයට ලක්වූ බව කියන ආණමඩුව නගරයේ පිහිටි ලැගුම් හලක් වෙත කැදවාගෙන ගොස් ඇත. ඒ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීම සදහාය. ඉන් පසුව පොලිස් නිලධාරීනියන් දෙදෙනා විසින් නැවතත් දැරිවිය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට බාර දී ඇත.
පරීක්ෂණ සදහා කැදවාගෙන ගිය කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ගේ කණට ගැසූ බව රෝහල් ගත කර සිටින දැරිවිය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පවසා ඇත. මෙම සිද්ධිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පුත්තලම කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දන්වා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධියට සම්බන්ධ කාන්තා පොලිස් නිලධාරීනීයන් දෙදෙනාව වහාම කල්පිටිය පොලීසියට ස්ථාන මාරු කර මේ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.
විමර්ශණය සිදු කර ඇති නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් පසුගිය 19 වැනිදා සවස සැකකාර පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.