දියනාමින් සිටි කාන්තාවක් බදාගෙන වතුරට ඇදන් ගිහින්කළු පැහැති සුනඛයින් පෙනී නොපෙනී ගිහින්
තිරුප්පනේ වැවට ගොස් ස්නානය කිරීමට ගිය ගම්වාසීන් කිහිපදෙනෙකු විසින් දුටු හා සිදුවූ අසාමාන්‍ය සිදුවීම් සමුදායක් පිළිබඳව මේ වන විට වාර්තා වනවා. මෙම සිද්ධීන් නිසාවෙන් ඔවුන් බියට පත්වී ඇති බවටත් පැවසෙනවා.
දිවා කාලයේ හා රාත්‍රී කාලයේ වැව අසල ගැවසෙන පිරිස් හට විවිධ ශබ්ද ඇසීම මෙන්ම කළු පැහැති සුනඛයින් එකවරම පෙනී නොපෙනී යාම වැනි සිදුවීම්ද මෙහිදී වාර්තා වනවා.
එලෙස එක් දිනක් අද්භූත සිදුවීමකට මුහුණදුන් කාන්තාවක් එය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ පහත පරිදියි.
‘‘මම උදේ 10ට විතර වැවට නාන්න ගියා. ඒ මංකඩේ හිටියේ මමයි මහත්තයයි තවත් දෙන්නෙකුයි. මම වතුරේ නානා ඉද්දී එක පාරටම කෙනෙක් ඇවිත් මාව බදාගත්තා. බදාගෙන වතුරට ඇදගෙන යන්න හැදුවා. මගේ ඇඟ තවමත් ගැහෙනවා වගේ. අපි එදා ඉඳන්ම වැවෙන් නාන්නේ. එත් මේ වගේ අත්දැකීමක් කවදාවත් වෙලා නෑ. දැන් වැව මතක් වෙද්දිත් බයයි. අවුරුදු ගාණකින් වැවේ බිල්ලක් ගත්තේ නැති නිසා මේ වගේ දේවල් වෙනවා ඇති කියලයි මිනිස්සු කියන්නේ.‘‘
තවත් අයෙක් ඔහුගේ අත්දැකීම් විස්තර කළ අයුරු...
‘‘රෑ අටට විතර මම නාන්න ගියා. වැවේ කිසිම කෙනෙක් හිටියේ නෑ. අවට කඩවලවත් ලයිට් තිබ්බේ නෑ. මම නාලා ගොඩවෙනවාත් එක්කම මුළු වැවම දෙදෙරන විදියට අසාමාන්‍ය විදියට බල්ලෙක් උඩ බුරලන හඬක් ඇසුණා. මම එකපාරටම ගැස්සුණා. ටක්ගාලා ගෙදර ආවා. ඒ හඬ බොහොම අසාමාන්‍යයි. මහ රෑ 12ටත් අපි නාලා තියෙනවා. මේ වගේ හඬක් අපිට ඇහිලා නෑ..‘‘
මේ පිළිබඳව තිරප්පනේ පොලිස් ස්ථානාධිපති සනත් සිංඤෝ මහතාගෙන් අප විමසීමක් කළ අතර ඔහු පවසන්නේ මෙම අද්භූත සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිහිපයක්ද ලැබී ඇති බවයි. ගම්වාසීන් පවසන්නේ වැවේ කලාතුරකින් බිල්ලක් ගෙන නොමැති නිසාවෙන් මෙලෙස අද්භූත සිදුවීම් සිදුවනු ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මේ හේතුව නිසාවෙන් ලබන 17වනදා ගම්වාසීන්ගේද සහභාගීත්වයෙන් යුතුව තිරුප්පනේ වැව් තාවුල්ලේ පිරිත් දේශනයක් පවත්වා සෙත්පතන බවයි.