දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ වගන්තීන් දෙකකට ඉදිරිපත් කර තිබූ සංශෝධන දෙකක් හේතුවෙන් ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර ඇතිවූ කඹ ඇදිල්ල නිමාවකට පත්කර පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.
දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය විසින් සංශෝධන 174 ක් ඉදිරිපත් කර තිබූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ සංශෝධන 63 ක් සහ විපක්‍ෂයේ සංශෝධන 111 ක් ඊට ඇතුළත් වුණා.
ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා විසින් සංශෝධන 29 ක්, රජීව විඡේසිංහ මහතා විසින් සංශෝධන 55 ක්, ගීතාංජන ගුණවර්ධන මහතා සංශෝධන 01 ක්, දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධන 01 ක්, ශ්‍රියානි විඡේවික්‍රම මහත්මිය සංශෝධන 2 ක්, සජින් ද වාස් ගුණවර්ධන මහතා සංශෝධන 7 ක්, වාසුදේව නානායක්‌කාර මහතා සංශෝධන 8 ක් සහ ඩග්ලස් දේවානන්ද මහතා සංශෝධන 8 ක් වශයෙන් විපක්‍ෂයෙන් ඉදිරිපත් කර තිබුණා.
ඇමැති මණ්‌ඩලය පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් විමසමින් ඇමැතිවරුන් පත් කිරීමේ වගන්තිය සහ ව්‍යවස්‌ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව බාහිර පුද්ගලයන් තිදෙනකු පත්කරන ලෙසට දැක්‌වෙන වගන්තිය සංශෝධනය කරමින් විපක්‍ෂය ගෙන ආ සංශෝධන දෙකට ආණ්‌ඩු පක්‍ෂයේ එකඟත්වය ලබාදීම ප්‍රතික්‌ෂේප කළා.
ව්‍යවස්‌ථාදායක සභාවේ සියලුම සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවද, ඇමැතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගෙන් විමසිය යුතුය යන වගන්තිය ඉවත් කළ යුතු බවටද විපක්‍ෂයේ ප්‍රධාන සංශෝධන දෙකට ආණ්‌ඩුව එකඟ නොවන්නේනම් විපක්‍ෂය දහනව වැනි සංශෝධනයට ඡන්දය ලබානොදෙන බව විපක්‍ෂය ඊයේ විවාදය පුරා රජයට අනතුරු හැඟවූවා.
ව්‍යවස්‌ථාදායක සභාව සඳහා ආණ්‌ඩුව විසින් පත්කිරීමට සූදානම් වන බාහිර පුද්ගලයන් තිදෙනා වන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය සහ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් බවද විපක්‍ෂයේ මන්ත්‍රීවරු විවාදයේදී ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භ කළ පෙරවරු 9.30 ටත් පෙර සිට ඡන්දය විමසන අවස්‌ථාව දක්‌වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිය කාර්යාලයේ සිට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් හමුවෙමින් මෙම ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහයක යෙදුනා.
සවස්‌වරුවේද අගමැතිවරයා, විපක්‍ෂ නායකවරයා සමග ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කරමින් විපක්‍ෂයේ ප්‍රධාන සංශෝධන දෙකට ආණ්‌ඩුව එකඟ කර ගැනීමට උත්සාහ කළා.