අක්කරෙයිපත්තුව - 19 කොටස වසා දැමීමත් සමඟ එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ මෙම ප්‍රදේශය වසා දැමීමට කටයුතු කළ අතර, පුද්ගලයින් 320 දෙනෙකු නිවසේම ස්වයං නිරෝධානයට යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.
එමෙන්ම, අක්කරෙයිපත්තුව - 19 කොටසට පිවිසිය හැකි මාර්ග 05 ක්ද මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර කර තිබෙනවා.
මේ අතර, බේරුවල - මරදාන - වෙත්තිමරාජපුර ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත කාන්තාවක් ඊයේ වාර්තා වුණා.
ඇය මීට පෙර කොරෝනා ආසාදනය වූ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයාගේ බිරිඳ බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න කියා සිටියේ.
එමෙන්ම, එම නිවසේ සිටින පුද්ගලයින් විසි දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බවද ඔහු සඳහන් කළා.
බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයද තවදුරටත් හුදෙකලා කර පවතිනවා. එම ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා සැපයීම් අඛණ්ඩව සිදුකරන බවයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, රත්නපුර - මුද්දුව සහ හතමුව ප්‍රදේශද මේ වනවිට වසා දමා තිබෙනවා. ඒ, එම ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.
සබරගමුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ මේ වනවිට එම ප්‍රදේශ විෂබීජහරණයට ලක් කරන බවයි.
එමෙන්ම, අකුරණ ප්‍රදේශයද තවදුරටත් වසා දමා තිබෙනවා. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව කුරුඳුගහමඩ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් 144 දෙනා සමඟ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මේ වනවිට තොරතුරු රැස්කරමින් සිටින බවයි.
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක කියා සිටියේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට රෝහල් ගතවන සංඛ්‍යාවද පහල බැස ඇති බවයි.