දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6000 ඉක්මවා තිබෙනවා.
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 2902ක් මේ වනවිට වාර්තා වන අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 68ක්.
පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 2547ක්, ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 281ක්, ශ්‍රී ලංකාවෙන් 159ක් සහ බංග්ලාදේශයෙන් ආසාදිතයින් 61 දෙනෙකු මේ වනවිට වාර්තා වී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සති 3ක කාලයක් සඳහා පසුගියදා ඉන්දියාව වසා දැමීමට තීරණය කළ නමුත්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනතාව සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නේ නම්, ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව ඉක්මවා තවදුරටත් එම ප්‍රාන්තය වසා දැමීමට සිදුවනු ඇති බවයි.
ඉන්දියාවේ වානිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර ද පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 516 දෙනෙකු හමුවී ඇති අතර, 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර කොරෝනා රෝගය හඳුනාගැනීම සඳහා පවත්වන P.C.R. පරීක්ෂණයෙන් සියයට 70ක පමණක ආසාදිතයින් හදුනාගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම නිසා ඉතිරි සියයට 30 ක පිරිස සමාජයට නිරාවණය විය හැකි බවයි සංගමය පෙන්වා දෙන්නේ.
මේ ගැන නිල නිවේදනයක් මගින් කරුණු පැහැදිලි කරන වෛද්‍ය සංගමය සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගය ආසාදනය වන තැනැත්තන්ගෙන් 20%ක්ම කිසිසේත්ම එකී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.
එම පුද්ගලයින් සියයට 90 දෙනෙකු පමණ සමාජයට නිරාවණය වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
එබැවින්, මෙරට තුළ රෝගය ව්‍යාප්තිවීමේ වැඩි අවධානමක් පවති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට රෝගීන් 25 දෙනෙකු සුවය ලබා සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි.
තහවුරු කළ කොරෝනා රෝගීන් 159 දෙනාගෙන් මේ වනවිට 129 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් 273 දෙනෙකු කෝරෝනා රෝගීන් යැයි සැක සහිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.