යුරේනි නොෂිකා නමැති නිළිය ගැන ඔබ දන්නේ මොනවාද? ඇය කොහොම කෙනෙක්ද? ආ . . . අර කොටට ඇඳගෙන පිස්සු නටන කෙල්ලනෙ ඔය . . . කියා ඇතැම් අයට යුරේනිගේ බාහිර ස්වරූපය මතක් වෙන්නට පුළුවන. එහෙත් ලාංකේය නව පරපුරේ නිළියක් භාවිත කරන මිලෙන් අධිකම මෝටර් රථයේ හිමිකාරිය ඇයයි. කලකට ඉහතදී තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් ගන්නට ඇය හීන මැව්වා. අද වන විට යුරේනි තමන්ගේ හීන සැබෑ කරගෙන සිටිනවා. ඇය ඒ ගැන කියන්නේ මේ විදිහටයි.
යුරේනි, ඔබට දියුණු වෙන්න ඕන කියන අදහස හිතට ආවේ කොහොමද?
පුංචි කාලේදී එහෙම අපට හීන තියෙනවා. මටත් ඒ කාරණය පොදුයිි. ඒ කාලේ මං දැකපු පළමුවැනි හීනය තමයි කාටත් කරදයක් නොවී ලොකු වුණාම ජීවත් වෙන්න ඕන කියන එක. මොනවා වුණත් නිළියක් විමේ හීනය නම් තිබුණේ නැහැ. ඉස්සර මං පාරේ බස් එකේ යනකොට යන වාහන දිහා බලාගෙන ඉන්නව. අනේ මටත් කවදා හරි මගේම කියලා වාහනයක් තියෙනවා නම් කියලා හිතුණු වාර අනන්තයි. හැබැයි පොඩි පොඩි වාහන ගන්න නෙවෙයි මං ප්ලෑන් කරන්නේ. වී. අයි. පී. වාහනයක් ගන්න තමයි හීන දැක්කේ.
අද ඔබ ඒ හිනය සැබෑ කරගෙන?
ලයිෆ් එක ඕපන් නම් තමන්ගේ ඉලක්කය ලේ නහරවල දුවනවා නම් ඒ සිතුවිල්ල විශ්වයට යනවා. විශ්වයේ කිරණ මඟින් නොසිතූ මොහොතක අපට ප්රතිලාභ ලබලා දෙනවා නියමිත කාලවලදී. එක මං අත්දුටු සත්‍යයක්.
අද ඔබ පාවිච්චි කරන වාහනය?
මර්සඩිස් එස් එල් සී 180 කියන කාර් එක.
ඒකෙ වටිනාකම?
ලක්ෂ එකසිය හතළිහයි.
කෙනෙකුට හිතෙන්න පුළුවන් යුරේනිට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා?
සල්ලි උපයන්න මැරීගෙන වැඩ කරන්න ඕන කියන මිථ්‍යාවක අපේ රටේ බොහෝ දෙනා ඉන්නේ. ඒක නෙවෙයි ඇත්ත. අපි අතපයේ ශ්‍රමයෙන් රැකියා කරනවා. ඒත් මොළේ වෙහෙසවෙලා වැඩ කරන කීයෙන් කී දෙනාද ඉන්නේ. විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි සියයට එකයි අපි මොළෙන් ප්‍රයොජනයට ගන්නේ. තමන්ට පුළුවන් නම් මොළෙන් වැඩ කරන්න ඉතාම ඉක්මනින් දියුණු වුණ හැකියි. ඒ සඳහා සැලසුම් ඕන තරම් තියෙනවා. අපේ උනන්දුව නැති එකයි ප්‍රශ්නෙ. ඔය බිල් ගේට්ස්ලා වැනි ලෝ ප්‍රකට කෝටිපතියෝ දියුණු වුණේ එහෙම.
ඔබ වාහනය සමඟ ඔබ පෙනී සිටින ඡායාරූපයක් අන්තර් ජාලයට එක් කොට තිබුණා. ඊට අන්තිම පහත් ගණයේ කමෙන්ට් ඇතැමුන් එක්කොට තිබුණා?
සාර්ථකත්වයක් දකින්න බැරි මිනිස්සු සාර්ථක අයට අකුල් හෙළනවා. ඒ පීඩනය දරාගන්න බැරි තැන තමයි ඔය වගේ අදහස් ප්‍රකාශ කරන්නේ. මං ඒ අයට අනුකම්පා කරනවා. තමන් තමන්ට ආදරය කරන්න පටන් ගන්න. ඔය අනුන්ට ගහන මඩ තමන්ටම දවසක පෙරළා ලැබෙන බවත් මතක තියාගන්න.
කවදා හෝ විදෙස් ගතවීම ඔබේ තවත් හිනයක්ද?
ඒක කියන්න දන්නේ නැහැ. මේ විශ්වය මඟින් මට හොඳම දේ ලබා දෙනවා. ඒක මට විශ්වාසයි. හරි වේලාව ආවාම සියල්ල සිද්ධ වේවි.
ඔබේ විවාහයත් එහෙමද?
ඔව්. මං එහෙම හිතනවා. මගේ ජීවිතේ මට බොහෝ දේවල් ලැබුණේ පරක්කු වෙලා. මට හම්බු වුණු පළමු සම්මානෙත් ලැබෙන්නේ රඟපාන්න ඇවිල්ලා අවුරුදු දහයකට විතර පස්සේ. මිනිස්සු මගේ රංගන හැකියාවත් හරියටම දැක්කේ බොහෝ කල්ගත වෙලා. මං විශ්වාස කරනවා මගේ විවාහයත් එහෙම සිද්ධ වේවි කියලා. මේ ලෝකේ මට ගැළපෙන හොඳම කෙනාව මට ලැබේවි.
දියුණු වෙන්න හිතාගෙන ඉන්න තරුණ අයට යුරේනි මොකද කියන්න තියෙන්නේ?
මනුෂ්‍ය ආත්මයක් ලෙහෙසියෙන් ලබන්න බැහැනෙ. ඒකට පින්කරලා තියෙන්න ඕන. එහෙම ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන් නිසියාකාරව ඵල නෙලා නොගෙන විඳව විඳව ඉන්න එපා. තමන්ට ටාර්ගට් එකක් තියා ගන්න. ධනාත්මකව හිතන්න. අභියෝග බාරගන්න. තමන්ගේ දක්ෂතාවයන් හඳුනා ගන්න. එතකොට දියුණුව තමන් සොයා ඒවි.