මෙවර කරළියට එන්නට ප්‍රථම ඇය ලෝකය සෙලවූයේ 2012 වසරේ ම’ර්ස් ලෙසිනි. ම’ර්ස් හට ලෝකයේ රටවල් 21ක් ගොදුරු විය. ම’ර්ස් යන්නෙහි දිගු අර්ථයේ මුල ඇත්තේ “මැද පෙරදිග“ යන්නයි. (Middle East respiratory syndrome-related coronavirus).
කොවිඩ් 19ටද මැදපෙරදිග ගොදුරු විය. ඉන් වැඩිම හානිය සිදුවූයේ ඉරානයටය.
ඉරානය හැරෙන්නට කොවිඩ් 19 සෞදි අරාබිය, කටාරය, ජෝර්දානය ආදී ලෙස මැද පෙරදිග කලාපයේම ව්‍යාප්තව සිටී. නමුත් හානිය ප්‍රබල වූයේ ඉරානයටය.
ඇමෙරිකානු බලපෑමට පසුව තවමත් ඉරානයේ සාර්ථක පාලන තන්ත්‍රයක් පිහිටුවා නැත. එහෙයින්, අදටත් ඉරානයේ ශක්තිමත් තීන්දු ගත හැකි දේශපාලන තන්ත්‍රයක් නැත. ඉරානයට පමණක් කොවිඩ් 19 එවන් බලපෑමක් කරන්නට හේතු වූයේ ඒ බව යැයි සිතිය හැක්කේ, ඉරානය හැරෙන්නට අනෙක් මැද පෙරදිග රටවල් ම’ර්ස්හි අලුත් මුහුණ වූ කොවිඩ් 19න් විශාල ලෙස අඩපණ වී නොමැති බැවිනි. ඔවුන් ම’ර්ස්ගෙන් බොහෝ දෑ ඉගෙන ගත්තේය.
ම’ර්ස් සම්බන්ධ අනෙක් වැදගත් කාරණය වන්නේ, එය ආසාදිත වූවන් 2000ක් පමණ වාර්තා වීම හා ඉන් මරණ 600ක් පමණ සිදුවීමය.
එනම්, මරණ අනුපාතය 30% තරම් ඉහළ අගයක් විය. කොවිඩ් 19 නිසා මෙය ලියවෙන විට රෝගීන් 422,000ක් වෙද්දී වාර්තා වූ මරණ සංඛ්‍යාව 18,900ක් විය. එනම් 4% වැනි අගයකි. රෝගය සුව වූ ප්‍රමාණය මියගිය ප්‍රමාණය මෙන් 500%කි.
ම’ර්ස් වයිරසයේ සුවිශේෂ කාරණා තවත් තිබේ. ඔබ දන්නා පරිදි සාර්ස්, ම’ර්ස්, කොවිඩ් ආදී සියල්ලෝම පහර දෙන්නේ මිනිසාගේ ශ්වසන පද්ධතියටය.
එනම්, හුස්ම ගන්නා නාස සිදුරුවල, සිය පෙණහලුවල, ගර්ථ දක්වා සුළං ප්‍රවාහනය කරන මාර්ගයටය. එහිත් විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතියට පහරදෙන වයිරසවල බලපෑම එල්ල වන්නේ මේ කියනා පාර දිගේ ඇති පක්ෂමධර සෛලවලටය.
එනම්, ඔබේ ශ්වසන මාර්ගය වටා බිත්තියේ සිටිනා සෛල තාරපාරක් වැනි පැතැලි මතුපිටක් සහිත සෛල නොවේ. ඒවා මතුපිට තණකොළ වැනි පක්ෂම හෙවත් ඉතා සියුම් කෙඳි තිබේ. ඔබ හුස්ම ගන්නා වාතයේ ඇති සියලුම දූවිලි මෙම පක්ෂම හෙවත් තුනී කෙඳි මඟින් අල්ලාගනු ලබයි.
සාමාන්‍යයෙන් වාතය හරහා පැමිණෙන සිරුරට අනවශ්‍ය දෑ නතර වන්නේ මේ කෙඳිවලය. ඒ හේතුවෙන් එලෙස අනවශ්‍ය දෑ අතර පැමිණෙන වයිරසයක වුවද කෙළින්ම ප්‍රහාරයට ලක්වන්නේ මේ කෙඳි සහිත මතුපිට ස්තරයයි. නමුත්, කොරෝනා වයිරසයේ පහර දීමට ලක්වන්නේ එලෙස පක්ෂම රහිත මතුපිට සෛලයන්ය. තවමත් ඔබට මෙකී වෙනසේ අවදානම නොවැටහේ.
එය මෙසේ පහදා දිය හැකිය. සිරුරට අවශ්‍ය වාතය බාහිර පරිසරයේ සිට පෙණහලුවල එම වාතයෙන් ඔක්සිජන් වෙන් කරගන්නා කෙළවර (ගර්ත) දක්වා යන නාල පද්ධතියේ වැඩිමනක් පක්ෂමධර සෛල ඇත්තේ නාසයට ආසන්නයේය. නාසයේ පටන් ඉහත කී ගර්ථ දක්වා කෙළවරට යද්දී කෙමෙන් කෙමෙන් පක්ෂ්ම ප්‍රමාණය අඩුවේ.
දැන් ඔබට වැටහෙන අන්දමට, අඩුම පක්ෂම හෙවත් කෙඳි ප්‍රමාණය ඇත්තේ පෙණහලු ආසන්නයේ හා ඒ තුළය. මෙම කාරණයත්, ඉහත මුලින් කී කාරණයත් එකතු කළහොත්, කොරෝනාවේ ලොකු අයියලා දෙන්නා වූ ම’ර්ස් හා සාර්ස් පහර දෙන්නේ පෙණහලුවලට ආසන්න සෛලවලටය. එය සිහියේ තබාගෙන ඉදිරියට යමු.
තවත් වැදගත් කාරණයක් වේ. වයිරසයක් සමඟ සටන් කර ජයගන්න නොහැකි තරම් ඔබේ, මගේ සිරුර දුර්වල නැත. ඔබ ‘දෙයියන්ගේ ලෙඩ කියා යමක් අසා ඇතිවාට සැක නැත. පැපොල, කම්මුල්ගාය ආදී රෝග එම ලැයිස්තුවේ වේ. එවන් රෝගවලටද ඔෟෂධ නොමැති තරම්ය.
එකම ප්‍රතිකාරය නම් රෝගය වැල¾දුණු ඇත්තන් අනෙක් නිරෝගී ඇත්තන්ගෙන් අෑත් කිරීම හා සිරුර විසින්ම, සිරුර තුළම, සිරුරට පැමිණි වයිරසයන් සමඟ සටන් කොට පරාජය කරනා තෙක් බලා සිටීමය. පැපොල රෝගය වුවද ගර්භණී මවුවරුන්, වයසක තැනැත්තන් ආදියට වැලදුණු කල මරණය සිදුවීමට තරම් අවදානම්ය. කොරෝනාවද එලෙසම යැයි සිතුවාට කම් නැත.
දෙයියන්ගේ ලෙඩ මෙන්ම කොරෝනාද වයිරස රෝගයකි. පැපොල රෝගය ඇත්තකු වහාම අනෙක් අයගෙන් වෙන් කරනවා පමණක් නොව ඔවුන් භාවිත කළ කී දෑ පවා විනාශ කරන්නට ගම්වල ඇත්තෝ ක්‍රියා කරති. කොරෝනාවට එරෙහි සටනද එලෙසමය. කොරෝනාවටද අද මේ වෙනතෙක් ඔෟෂධ නැත. එය ලොව පවත්නා ඕනෑම වයිරසයකට පොදු ධර්මතාවකි. එලෙස ඔෟෂධයක් සෑදිය හැකි අයකු වේ නම් ඒ එකම අයකු පමණි. එනම්, ඔබේ සිරුරම පමණි.
එසේ නම්, කොරෝනාවෙන් මිය යන්නේ කෙසේද? කොරෝනා රෝගය පිපිරී ගිය චීනයේ, එලෙස පිපිරී යන්නටද මසකට පෙර මෙවන් ව්‍යසනයක් ළඟ ළඟම එන බව කියූ වෛද්‍යවරයෙක් විය. ඔහුව චීනයේ බලධාරීන් විහිළුවට ගත් අතර ඔහුගේ අනතුරු ඇඟවීම නොසලකා හැරිණි.
අවසානයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ආරම්භව මේ වන විට ලෝකයේ රටවල් 190කට වැඩි ප්‍රමාණයක් එම සාපයට ගොදුරුව පවතී. මේ කියූ වෛද්‍යවරයාද කොරෝනා වයිරසයෙන්ම අවසානයේ මිය ගියේය.
ඔහු මියයන්නට පෙර චීනයේ මාධ්‍ය ආයතනයක් ඔහු සමඟ කතා කරන්නට උත්සාහ කළේය. CGTN නම් එම ආයතනයේ මාධ්‍යවේදීන් ඔහුව සම්බන්ධ කරගත්තේ ජංගම දුරකථන මාර්ගයෙනි. එයත් SMS හරහාය.
‘අපිට ඔබ එක්ක පොඩ්ඩක් කතා කරන්නට අවශ්‍යයි.’
‘ඔව්, මම කතා කරන්න කැමැතියි. හැබැයි දැන් මට දිග වාක්‍ය කියන්න බෑ. මගේ පෙණහලු ශ්ලේෂ්මලවලින් පිරිලා. ඒවා පොඩ්ඩක් අඩු වුණාම මම කතා කරන්නම්.’
මාධ්‍යවේදියාට ඉන් පසු දිනයේ දැනගන්නට ලැබුණේ ඔහු මියගිය බවය.
මෙම කතාව අපිට වැදගත් වන්නේ ඉහත කී ප්‍රශ්නයට පිළිතුරු දීමටය. එනම්, වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවන්නට තරම් මිනිස් සිරුර ශක්තිමත් නම්, කොරෝනාවෙන් මියයන්නේ කෙසේද?
අප සිරුර තුළට පැමිණෙන ආගන්තුක සතුරකුට අප මරා දමන්නට හැකි ප්‍රධානම ක්‍රමය නම්, එලෙස පැමිණ තමන් පහර දෙන සිරුරේ අදාළ අවයවය අක්‍රිය කිරීමයි. මරා දැමීමයි. ඊට සරල උදාහරණයක් දෙන්නේ නම්, ඔබ දන්නා සිරෝසීස් රෝගයෙන් සිදුවන්නේ අක්මාවේ ඇති සෛල මරා දැමීමය. එක් සෛලයක් මියගිය පසු එය පුරවන්නට එවැනිම සෛලයක් හදන්නට අප සිරුරට හැකිය. නමුත්, අක්මා සෛල එලෙස හදන්නට ඊට නොහැකිය. සිරෝසීස් මඟින් එකින් එක අක්මා සෛල මරා දැමුණු පසු, අවසානයේ අක්මාවම අවසන් ගමන් යයි. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගියා මිය යයි.
කොරෝනාව කරන්නේ එවැන්නක් නොවේ. කොරෝනා වයිරසයේ ක්‍රමය වෙනස්ය. ඔහු කිසිදු සෛලයකට පහරදී මරා දමන්නේ නැත. ඔහු ගොස් අදාළ සෛලයේ රාජකාරිය සිය ගුණයකින් වැඩි කරයි. ඊට ඔහු යොදාගන්නා උප්පරවැට්ටි වේ. මිනිසාගේ ශ්වසන මාර්ගය යනු වාහනයක එන්ජිමට වාතය සපයන (Air Fillter) පද්ධතිය මෙනැයි සිතන්න. වාතය හැරෙන්නට වෙන කිසිවක් එහි නොතිබිය යුතුය...! එය මූලික නීතියකි.
එබැවින් කුමන හෝ ආගන්තුක යමක් පැමිණි කල, වහාම ශ්වසන මාර්ගයේ දෙපස සෛල එම ආගන්තුක ද්‍රව්‍යය ඉවත් කිරීමේ මහා මෙහෙයුම ආරම්භ කරයි. ඒ වෙනුවෙන් යම් ද්‍රවයක් වැනි යමක් (ශ්ලේෂ්මල යැයි අපි කියන්නේ මේවාටය) සෛල විසින් නිපදවේ. ඔබ වතුරින් කුණු සෝදා දමන්නේ කෙසේද, එලෙසම මෙම ශ්ලේෂ්මලවලින් ශ්වසන මාර්ගයේ ඇති අපද්‍රව්‍ය සෝදා දමයි. ලිපියේ ඉහත කියූ සිහින් කෙඳි සෛල මඟින් කුණු සේදූ ද්‍රව්‍ය හෙවත් ශ්ලේෂ්මල ශ්වසන මාර්ගය ඔස්සේ ගෙනැවිත්, නාසයෙන් ඉවත් කර දැමීම සිදු කරයි. ඔබ සොටු කියන්නේ මේවාටය.
කොරෝනා වයිරසය සිදු කරන්නේ ශ්වසන මාර්ගයේ මෙම සෛල වටා විශාල වශයෙන් තැන්පත් වීමය. දැන් සෛල සියල්ල ආගන්තුක ද්‍රව්‍යයක් පැමිණිවිට කරන්නට කියා ඇති වැඩ ටික ආරම්භ කරයි. ඔවුන් එක පෝලිමේ ශ්ලේෂ්මල නිකුත් කරයි. ඒ අතරේ සාමාන්‍ය ක්‍රමය අනුව වයිරස සමඟ සටන් කරන්නට සුදු රුධිරාණුවලටද පණිවුඩය යවයි. ඔවුන්ද වයිරසය සමඟ යුද්ධ කරන්නට ආයුධ සමඟ පැමිණේ. යුද භූමිය වන්නේ මුලින් කී ශ්වසන මාර්ගය දෙපස ඇති සෛලයම වේ. යුද්ධය මැද මුලින්ම මිය යන්නේද යුද භූමිය වූ සෛලයයි. දැන් රෝගියාගේ ශ්වසන මාර්ගය තුළ මහ කෝලාහලයකි. එක දිගට ශ්‍රාවය වන ශ්ලේෂ්මල ඉවත් කරන්නට ක්‍රමයක් නැත.
ඒ අතර මිය ගිය සෛලද ලක්ෂ ගණනකි. මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර වීමයි. සාමාන්‍ය හෙම්බිරිස්සාවකදීද මෙය යම් පමණකට සිදුවේ. ඔබේ නාසය අවහිර වන්නේ එබැවිනි. ඔබ එවිට කටින් හුස්ම ගනී.
නමුත් කෝරෝනාවලදී ලිපියේ මුලදීම කියූ පරිදි කොරෝනා වයිරසයේ ලක්ෂණය වන්නේ ඔවුන් පහර දෙන්නේ ශ්වසන මාර්ගයේ පෙණහලු කෙළවරේ සෛලවලටය. දැන් අවහිර වන්නේ පෙණහලු කෙළවරේ සුළං මාර්ගයයි. සිරුරට අවශ්‍යම ඔක්සිජන් දැන් පෙණහලුවලට යා නොහැකිය.
මුළු මාර්ගයම අවහිර වී ඇත. අවසානයේ නිසි ඔක්සිජන් ප්‍රතිශතය රුධිරයේ නොමැති වීමෙන්, එම රුධිරයෙන් දුවනා සිරුරේ අනෙක් අවයවද ක්‍රම ක්‍රමයෙන් දුර්වල වී මිය යයි. එය සිදු නොවුණද, වාතය ගමන් ගන්නා මාර්ගය අවහිර වීමෙන් පමණක් රෝගියා මිය යයි.
ගංවතුරේ යන වාහනයක Air Filter එක හෙවත් එන්ජිමේ දහනයට වාතය ඇද ගන්නා ස්ථානය වතුරින් අවහිර වූ වහාම සිදුවන්නේ කුමක්ද? වාහනය හිටි තැනම එන්ජිම නතර වේ. කොරෝනාවෙන් මිනිසාට සිදුවන්නේද එයයි.
තරුණ වයසේ සිටිනා, අවහිර වූ ශ්වසන මාර්ගයෙන් වැර වෑයමෙන් හෝ ඇද හුස්ම ගන්නට හැකි වුන් මින් ආරක්ෂා වේ. එසේම, ඉහත කී සුදු රුධිරාණු යුද්ධයට පැමිණෙන සුදු රුධිරාණු සතුව බලවත් ආයුධ වේ නම්, ඔවුන් ඉතා වේගයෙන් සටන් කර කොරෝනා වයිරසය පරාජය කරනු ලබයි.
එවන් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇතිවුන්ද මින් ජීවිතය රැකගනී. මේ දෙකම නොහැකි, වයෝවෘද්ධ අයවලුන්ද, ප්‍රතිශක්තිය දුර්වල අයවලුන්ද තම එන්ජිම හිටිහැටියේ නතර කරගනී. ඔබට ඔබේ ප්‍රතිශක්තිය ගැන විශ්වාස කළ හැකිද.. නොහැකි නම් නිවසේම සිටින්න.
චීනයේ වූහාන් ප්‍රාන්තය වසා දමන්නේ 2020 වසරේ ජනවාරි 23 වැනිදා ය. එලෙස වසා දැමූ නගරයේ කොරෝනා යුද්ධය ඔවුහූ වේගයෙන් සැලැසුම් කළහ. එය කොතරම්ද කියන්නේ නම්, දිනකට වූහාන් වෙනුවෙන් පමණක් මුව ආවරණ ලක්ෂ තුනක් නිෂ්පාදනය විය.
ඒවා සියල්ල රජයෙන් නොමිලයේ බෙදා හැරිණි. වූහාන්හි සෑම නිවෙසකටම රජය විසින් පත් කළ සමාජ සේවකයන් යන්නට විය. උදෑසන හා සවස සෑම නිවෙසකටම ඔවුන් යන්නට විය. නිවෙසේ සිටිනා රෝගීන්ට බෙහෙත් ඔෟෂධ මෙන්ම ඔවුන්ගේ ආහාර පවා එලෙස පැමිණෙන රජයේ පිරිසට කියා ලබාගත හැකිය. වූහාන් නගරයේ ජනගහනය මිලියන නවයකි. ආසන්න වශයෙන් කෝටියකි.
ලංකාවෙන් භාගයක් ජනගහනයක් එහි පමණක් වෙසේ. ඒ සෑම නිවෙසකටම යන්නට, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බලන්නට, කන්නට ආහාර දෙන්නට සියල්ල සැලසුම් විය. තෝරාගත් කුරියර් සේවා, ආහාර ගෙනැවිත් දීමේ සේවා ක්‍රියාත්මක විය.
රෝගීන් 95ක සිට එක් දිනක් තුළ රෝගීන් 2000කට ආසන්නව වාර්තා වූ නගරයක් ලෙස වූහාන් ලියැවිණි. මේ කියූ 2000ක් රෝගීන් වාර්තා වන්නේ රැයක් එළි වෙද්දී ය. අවසානයේ මාසයකට පසුව වූහාන් කැපකිරීමේ ප්‍රතිිඵල ලැබිණි. එකදු රෝගියකු හෝ වාර්තා නොවී ගත වූ සතියේ වූහාන් නැවත ජීවය ලබමින් සිටී.
ඉතාලිය දැන් චීනය පසු කරමින් කොරෝනා සාපයේ හිණිපෙත්තට නඟිමින් සිටී. රැය එළි වෙද්දී 600ක් දෙනා මියගොස් අවසන් වූ බව ගත වූ සතියේ වාර්තා විය. කොරෝනාවෙන් මිය යන මේ මරණවල ගැඹුර මිනිස්සු ලෙස අප කෙසේ භාරගන්නේද යන්න සිතන්නේ නම් ඔබ නිවෙසින් එළියට බැසීම කෙසේ වෙතත්, ජනේලයෙන් ඔළුව එළියට දමන්නේද නැත.
මිය ගිය තැනැත්තා වෛද්‍යවරයෙක්ද, කෝටිපති ව්‍යාපාරිකයෙක්ද, රටම හ¾දුනන නළුවෙක්ද ආදිය වැදගත් නැත. මියයන ඔහුගේ සිරුර හෝ නැවත දකින්නට නොලැබේ. මිය ගිය වහාම රැගෙන ගොස් උදුනට දමා පුච්චා දමයි. එතැනින් ඒ තැනැත්තාගේ කතාව අවසන් වේ.
මියගිය පුද්ගලයන් ගණන තවත් ඉලක්කමකින් වැඩි වීම පමණක් කොළවල ලියැවේ. එපමණකි. අවමඟුලක් නැත. පාංශුකූලයක් නැත. මතකවස්ත්‍ර නැත. පල්ලියේ ගීතිකා නැත. කොටින්ම මියගිය අයගේ පවුලේ වුන් ඔහු ඇය මිය ගියාද දන්නේද නැත. මිය ගිය තැනැත්තා පුච්චා දැමූවන් මේ පිච්චුවේ මොකාදැයි දන්නේද නැත. කිසිවක්ම නැත. මියගිය අයගේ සිරුරද අප්පිරියාවෙන් පුච්චාදැමේ. එපමණකි.
දිනක් දෙකක් නොකා සිටියද, වෙනදා කන තරමින් අඩක් කෑවාට ඔබ මැරෙන්නේ නැත. සැප ගන්නට මහපාරට එන ඔබට ඉහත ආකාරයේ මරණයක් ලබාගැනීමට කැමැත්තක්ද නැතිවා විය හැකිය. එසේ නම් ඔබ ඔබේ නිවසේම සිටිය යුතුය. මේ විශ්වාස කළ නොහැකි සොබාදහමේ දඬුවම වටහා ගන්නේ නම් රජය ඇඳිරි නීතිය ඉවත් කළද ඔබ නිවෙසේම සිටිය යුතුය.