ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද, ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම සේවක සංඛ්‍යාවක් සහිතව, අදාළ ආයතන විවෘතව තබන ලෙස ජනාධිපති ලේකම්වරයා මහබැංකු අධිපතිවරයාට අද ලිඛිතව දැනුම් දුන්නා.
අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් වන්නේ සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදා හැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීමයි. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් ප්‍රධාන කාර්ය මණ්ඩලය මෙන්ම, ජනාධිපති කාර්යාලය ද සෑමදිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අතර, කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රතිකාර කරනු ලබන දිවයින පුරා රෝහල් 24ට නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ බෙදා දීමට කටයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් මත එම රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙම උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ සඳහා රුපියල් මිලියන 800ක පමණ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
එමෙන්ම, කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිහිටුවා ඇති අරමුදල සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2ක මුදලක් පිරිනැමීමට කටයුතු කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.